Saturday, January 27, 2018

පතිරාජයන්ගේ වේදනාව Pathiraja's Pain






ධර්මසේන පතිරාජයන් අප අතරින් සමුගෙන යෑම අන් සියළු කරදර, ප්‍රශ්ණ මොහොතකට අමතක කොට කම්පා වෙන්නට අවස්ථාවක් විය. ඔහු අපේ පරම්පරාවට ආශ්‍රය කරන්නට ලැබුණු දැවැන්තම කලාකරුවෙක් විය. පරිණතම මිනිසෙක් විය.
පතිරාජයන්ගේ යහපත් ගතිගුණ ගැන මේ මොහොතේ ලියැවිය යුතුය. ඒ ගැන කතාකළ යුතුය. ඔහුගේ සිනමාවේ විශේෂත්වය ගැන කතාකළ යුතුය. ඔහු අන්තර්ජාතිකව ලැබූ ගෞරවයන් ගැන කතාබහ කළ යුතුය. ඒ සඳහා සුදුස්සා මා නොවේ. මට ලිවිය හැක්කේ ඔහු තම ජීවිතයේ අවසානයේ විඳි මහා සිනමාත්මක වේදනාව ගැනයි.


බඹරු ඇවිත් නම් සිනමා කැරැල්ලෙන්


පතිරාජයන්ව මුණගැසී සම්මුඛ සාකච්චාවක් කළේ මීට මාසයකට දෙකකට ඉහතදීය. ඒ වනවිට ඔහු රෝගාතුර වීම නිසා ශාරීරිකව දුර්වල වී සිටි බව පැහැදිළිව පෙනෙන්නට තිබුණි. ඔහු අසීරුවෙන් අප සමඟ කතාකළ බව පෙනුණි. 

සම්මුඛ සාකච්ඡාවට ප්‍රමාද වී පැමිණීමෙන් ඔහුව සැලකිය යුතු වෙලාවක් අප විසින් රස්තියාදු කර තිබුණත් ඔහු කිසිදු දෝෂාරෝපණයක් නැතිව අප සමඟ කතාබහ කළ අන්දම මතකය. 

පතිරාජයන් එදින කතාකළේ වේදනාවෙනි. ඔහුගේ ‘ස්වරූප’ චිත්‍රපටිය ලංකාවේ සිනමා ශාලා හිමියන් මෙන්ම චිත්‍රපටි මණ්ඩල විසින් පවත්වාගෙන යන, අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් ඇතුළු සිනමාකරුවන් විසින් සහාය දක්වන ‘සිනමා මාෆියාවේ’ ගොදුරක් බවට පත්ව තිබුණි. සම්මුඛ සාකච්ඡාවේ කතාබහ කළේද ඒ පිළිබඳවයි.
චිත්‍රපටිය අන්තිම අසාධාරණ විදියට සිනමාහල්වලින් ගලවා තිබුණු අතර ඇතැම් තැන්වල ප්‍රදර්ශණය කර නොතිබුණි. මුදල් රැගෙන චිත්‍රපටිය ප්‍රදර්ශණය නොකළ නින්දිත සිනමාහල් හිමියන් සිට ඇත. එපමණක් නොව පොරොන්දු වූ කාලය සිනමාහල්වල චිත්‍රපටිය ප්‍රදර්ශණය කර ඇති අතර ‘අප්පට සිරි’ නම් කසිකබල් චිත්‍රපටිය වෙනුවෙන් දින කිහිපයකින් ‘ස්වරූප’ ගලවා දමා ඇත. 

 මේ ලංකාවේ මහා සිනමාකරුවා ලද සැලකිල්ලයි

පුවත්පත්වල පළවූ විචාර, සමාජ මාධ්‍යවල පළවූ අදහස් සමඟ ලංකාවේ සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් ස්වරූප බලන්නට සිනමාහල්වලට ඇදෙන්නට පටන්ගනිද්දී ස්වරූප සිනමාහල්වලින් ගලවා දමා තිබුණි. පතිරාජයන් නැවත කිසිදා චිත්‍රපටියක් නොකරන තැනට හිත් වේදනාවට පත්ව තිබුණි. ඇතැම් විට ඒ සිත්වේදනාව ඔහුගේ වියෝව ඉක්මන් කිරීමට හේතුවුණා විය හැකිය. 

එපමණක් නොව මහා සිනමාකරු ධර්මසේන පතිරාජයන්ගේ චිත්‍රපටිය රැගෙන ඒ ගැන කතාකිරීමට සිනමාහල්වලට ගිය මාලක දේවප්‍රිය ඇතුළු නියෝජිතයන්ට සිනමාහල් හිමියන් හා සේවකයන් අපූරු උපදෙස් දී තිබුණු බවද කියැවෙයි. කොමඩි ඇතුළු ‘දුවන ජාතියේ චිත්‍රපටි’ නිර්මාණය කරන්නැයි නියෝජිතයන් හරහා පතිරාජයන්ට උපදෙස් ලැබී තිබුණි. 

පතිරාජයන් අසනීප වීම නිසා මෑත කාලයේ සිනමා සම්මාන උළෙලවල් ඇතුළු විවිධාකාර කලා සාහිත්‍ය සම්මාන උළෙලවල්වල ගෞරව සම්මාන පතිරාජයන්ට ලබාදෙන්නට කටයුතු යෙදුණි. එහෙත් ඔහුගේ අවසාන චිත්‍රපටියට ලැබුණේ පහත්ම මට්ටමේ සැලකිල්ලකි. 

අපේ රටේ මහා සිනමාකරුවාට ලැබුණු ප්‍රතිචාර එසේ වෙද්දී මොහොතකට මම මලයාලම් සිනමාවේ මහා සිනමාකරු අදූල් ගෝපාල ක්‍රිෂ්ණන් ගැන කල්පනා කළෙමි. ඔහු පතිරාජයන්ගේ මිත්‍රයෙකි. අදූල් ගෝපාලක්‍රිෂ්ණන් මහතා වෙනුවෙන් දැන් වෙබ් අඩවියක් ඇති අතර ඔහුගේ චිත්‍රපටි, පොත්පත්, ඡායාරූප ඇතුළු ඔහු පිළිබඳ බොහෝ කරුණු ඒ වෙබ් අඩවියෙන් කියවිය හැකිය. පතිරාජයන්ගේ නම අන්තර්ජාලයේ සෙවීමකට ලක් කළත් ඔහු පිළිබඳ ප්‍රමාණවත් කියැවීමක් කළහැකි මට්ටමක් තියේවිදැයි සැක සහිතය. ඒ ඔහුට ලැබුණු සැලකිල්ලයි. අප අපේ මහා සිනමාකරුවාට සැලකූ අන්දමයි.

ප්‍රගතිශිලී දර්ශණය

පතිරාජයන්ගේ සක්කාරං චිත්‍රපටිය ගැන බූපති නලින් වික්‍රමගේ පතිරාජයන්ගේ මුහුණටම වරක් කී කතාවකින් වචන දෙකක් සිහිපත් වෙයි. ‘අන්තිම ප්‍රතිගාමීයි.’ සාමාන්‍යයෙන් මුහුණට විවේචන එල්ල කිරීමෙහි ප්‍රකට බූපති එසේ කීය. බොහෝ දෙනා පතිරාජයන්ගේ මුහුණට නැතත් ඒ විවේචනය ඒ චිත්‍රපටිය පිළිබඳව එල්ල කළේය. ඒ එක් චිත්‍රපටිය ගැන අදහස් එසේ තිබියදී පතිරාජයන් අතගැසූ අනෙක් සියළුම නිර්මාණ පාහේ රන් බවට හැරවිණ. දෙබස් රචනය, සිනමා භාවිතාව මෙන්ම ඔහුගේ චිත්‍රපටි පසුපස තිබූ දර්ශණය අපේ ගෝත්‍රික රටේ ප්‍රේක්ෂකයන්ට වඩා ගව් ගණන් ඉදිරියෙන් සිටියේය.

ඇත්තෙන්ම අපේ කාලය වෙද්දී සිනමාවේ වික්‍රම කළ බූඩි කීර්තිසේන වැන්නන්ට නැත්තේද, හඳගම, ප්‍රසන්න වැන්නන්ට ඇත්තේද ඒ ගැඹුරු දැක්මයි.
පතිරාජයන් සිය ජීවිතයෙන් සමුගන්නා තෙක් ඒ දර්ශනය අත් නොහැරියේය. අප දන්නා මහා කලාකරුවන් ජාතිකවාදයට වහල් වෙද්දී පතිරාජයන් ජාතිකවාදය තුළ සිර නොවීය. තමන්ගේ දැක්ම පටු කර නොගත්තේය.  ඔහු 2014 දී මහින්ද රාජපක්ෂ නම් අත්තනෝමතික, ඒකාධිපති මාවතේ ගමන් කරමින් සිටි පාලකයාව පරාජය කිරීම වෙනුවෙන් නොබියව අදහස් දැක්වුවේය. වෙන නිර්මාණකරුවන් මහරජුන් වෙනුවෙන් නිර්මාණ කරද්දී පතිරාජයන් මහරජුන්ව ප්‍රතික්ෂේප කළේය. 

වසර තුනකට පෙර සැඟව සිට එළියට පැමිණි පිරිසකගෙන් දැන් විවේචන වලට ලක්වුණත් බොහෝදෙනෙකු ජීවිතවලට බය වෙද්දී නොබියව 2015 තීරණාත්මක ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂව ගෙදර යැවීම වෙනුවෙන් කටයුතු කළ ‘පුරවැසි බලය’ සංවිධානය සමඟ පතිරාජයන් එක්විය. ඒ සමඟ ඉදිරිපෙළේ කටයුතු කළේය.  
ඒ අපේ මහා සිනමාකරුවාය. බාධක මැද්දේ වුව ගලා ආ අපේ සිනමාත්මක සිනමා ලෝකය හැඩගැස්වූ දැවැන්තයාය. ඔහු පැතූ හෙටදවස වෙනුවෙන් අප දේශපාලන ලෝකය තුළත් සිනමා ලෝකය තුළත් වෙනස්කම් කළ යුතුය.

ප.ලි. 

ප්‍රථම හමුවීම

ධර්මසේන පතිරාජයන්ව ආශ්‍රය කරන්නට වාසනාව ලැබී නැත. එහෙත් කිහිපවරක් මුණගැසී කතාබහ කරන්නට අවස්ථාව ලැබී ඇත. රාවය වෙනුවෙන් කෙට අදහස් විමසිම් සඳහා ඔහුව කිහිපවතාවක් සම්බන්ධ කරගෙන ඇත. එහෙත් එසේ ඉඳහිට ගත් ඇමතුම් නිසා ඔහු මාව මතක තබාගනු ඇතැයි මම නොසිතීමි. 

එහෙත් දිනක් ඔහුව මුණගැසුණේ සක්කාරං චිත්‍රපටියේ දර්ශණයක් අවසානයේදීය. සක්කාරං චිත්‍රපටිය ප්‍රදර්ශණයට ප්‍රථම ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසික සිනමා දැක්මේදී එය ප්‍රදර්ශණය විය. චිත්‍රපටි දර්ශණය අවසානයේ එය පිළිබඳ සංවාදයක් පැවති අතර චිත්‍රපටිය ගැන කණස්සල්ලෙන් බොහෝදෙනෙකු අදහස් දැක්වූ බව පෙනුණි. ( සක්කාරං පතිරාජයන්ගේ චිත්‍රපටි අතරින් සෑහීමට පත්විය නොහැකි මට්ටමේ චිත්‍රපටිය බව බොහෝදෙනෙකු පිළිගන්නා කාරණයකි. ) 

පතිරාජයන්ට යම් සිත් වේදනාවක් ප්‍රතිචාර ගැන තිබුණායැයි සිතිය හැකිය. චිත්‍රපටි දර්ශණය අවසාන වී එළියට බහින අතරේ ඔහුව මුහුණට හමුවූ අතර, ‘තරිඳු කෙහොමද?’ යැයි එක්වරම ඔහු මා සමඟ කතා කළේය. 

පතිරාජයන් මා සමඟ එක්වරම කතාකිරීම මට පුදුමයක් විය. ‘සර් මාව දන්නවාද?’ මම ඇසීමි. ‘ඔව්, මම ෆේස්බුක් එකෙන් ඔයාගෙ ෆොටෝස් දැකලා තියෙනවා.’ ඔහු කීය.
ඔහුට ඕනෑනම් මාව නොදන්නවා සේ කතා නොකර යා හැකිව තිබුණි. ඔහු පතිරාජයන්ය. එහෙත් ඔහු මා සමඟ කතාකළේය. එය මා නැවත නැවතත් සිහිපත් කළ ආදරණීය අවස්ථාවකි. මා කුඩා කල සිටම ඔහු ගැන අසා ඇත. ඔහුට ආදරය කළෙමි. 

වසර කිහිපයකට පෙර ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පා තැබූ තරුණයෙක් වන මට මා ගැන වැඩිම වටිනාකමක් දැනුණේ මා ලද සම්මාන හෝ අන් කිසිවක් නිසා නොව ඔහු මා සමඟ එදින කතාකළ මොහොතේය. එය ඔහු වෙනුවෙන් මෙහි ලියා තැබිය යුතුය. 



ප.ප.ලි.
 
ඇත්තටම කිව්වොත් 2017 අවුරුද්ද කියන්නෙ බ්ලොග් අඩවියේ අසාර්ථකම අවුරුද්ද. මම දන්නවා. මේ කාලය බ්ලොග් වලට ඒ තරම් සුන්දර කාලයක් නෙවෙයි කියල පෙනෙනවා. බ්ලොග් රජවරු තවම බ්ලොග් වල ඉන්න බව ඇත්ත. ඒත් ගොඩක් අය දැන් බ්ලොග් අඩවි අතරේ සැරිසරන්නේ නැහැ වගෙයි. කාලයක් තිස්සේ හදාගත්ත පුරුද්ද නිසා බ්ලොග් වල ඉන්නවා. ගූග්ල් කම්පැණියෙන් නොමිලයේ අපට ලියන්න හදාදීල තියෙන අවකාශය අපි ෆේස්බුක් ලයික් ගැන හිතලා නැති කරගන්නෙ ඇයි. ඉතින්, මේ අවුරුද්ද බ්ලොග් එකේ හොඳම අවුරුද්ද කරගන්න උපරිම උත්සාහය ගන්නවා.

මේක කොහොමත් අපි අපේම ස්වාධීන අවකාශයන් පුළුල් කරන්න ඕනෙ කාලයක්. අනුන්ගෙ තැන්වල ලියනවාට වඩා තමන්ගෙම තැනක ලිවීම ලේසියි. පහසුයි.

ගිය අවුරුද්දෙ බ්ලොග් අඩවියට මට වඩා ජනප්‍රිය ලේඛිකාවක් වුණ රේඛාත් ආවා. දෙන්නා ඇයි තැන් දෙකක ලියන්නෙ. දෙන්නාම එක තැනක ලිව්වාම ලේසියිනේ කියන සරල තින්කින් එක එක්කයි දෙන්නාම මෙතැනට ආවේ. ඉතින්, දෙන්නා හතිදාගෙන මේකේ ලියන්නයි බලාපොරොත්තුව. ඒ නිසා අද ගොඩවුණ අය ඉස්සරහටත් මෙතැනට ගොඩවෙන්න අමතක කරන්න එපා.


10 comments:

  1. ප ප ලි ය ඇත්ත තමා

    ReplyDelete
  2. අපූරූ අවං සටහනක්... බ්ලොග් කතාව නම් සහතික ඇත්ත...

    මට නම් උනේ රැකියාව සමඟ බ්ලොග් ලියන්න වෙලාවක් නොමැතිවීම..

    ඒත් අළුත් ර්‍ඇකියාව නිසා අවස්ථාවක් ලැබෙයි...

    ReplyDelete
  3. අපුරු සටහනක් ..සොයුර ස්තුති

    ReplyDelete
  4. පතිරාජ ගැන ලියපු අවන්කවම සටහනක් . මම පතිරාජගේ චිත්‍රපටයක් ගෙන්වලා මෙහෙ (එංගලන්තේ ) පෙන්වල සල්ලි යාවන් හිතන් හිටිය. නමුත් දැන් ප්‍රමාදයි. ඒත අයිතීන් ගත්ත කෙනෙක් හරහා ගෙන්වන්න අදහසක් තියනවා. තරිඳු බ්ලොගේ ලියන්නේ. අපි කියවන්න ඉන්නව. මට කොමෙන්ට් දාන්න වෙලාවක් තමයි නැත්තේ.

    ReplyDelete
  5. අපුරු සටහනක්.
    "පොරොන්දු වූ කාලය සිනමාහල්වල චිත්‍රපටිය ප්‍රදර්ශණය කර ඇති අතර"
    "නැති අතර" නේද වෙන්න ඕනේ?

    ReplyDelete
  6. මගේ 2017 ඒ තරම් සාර්ථක උනේ නෑ. පවුලේ වැඩකටයුතු, රාජකාරී වැඩ, සමාජ සේවා, දේශපාලනේ මේ අතර බ්ලොග් එකට දුන්න අවධානය මදි කියලා මමත් පිලිගන්නවා.

    ReplyDelete
  7. ලස්සන සටහනක්..

    ReplyDelete
  8. පතිරාජගේදැයි සැකහිතෙන තරමටම සක්කාරං නම් විකාරයක්. බ්ලොග් එක නවත්තන්න එපා. බ්ලොග් විතරක් කියවන, ෆේස්බුක් ගැන උනන්දුවක් නැති මම වගේ අප්සට් උන් ගැන හිතලවත් ලියහන් මලේ...

    ReplyDelete