Tuesday, January 02, 2018

රන්ජන් අවස්ථාවාදියෙක්ද?






රන්ජන්ව වර්ණනා කිරීම වගේම ඔහු අවධානය දිනාගන්න වැඩකරනවා කියලා චෝදනාත් බොහෝම එල්ලවෙනවා මේ දිනවල. ඩොක්ටර් නවරියන් චිත්‍රපටිය නිසා ඔහුගෙ සිනමාවටත් විවේචන වගේම හොඳ කියැවෙනවා. සමහරු කියන්නෙ ඇත්ත ජීවිතේදීත් ඔහු නළුවා කියලයි. රඟපානවා, බොරුව දානවා කියලයි. 


රන්ජන් රාමනායක මහතා අවධානය දිනාගන්නට රඟපෑමක් කරනවා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. රන්ජන් බොරුකාරයෙක් කියලා කියන්න පුළුවන්. ඒත් උදේ ඔහු එක්ක දුරකථනයෙන් කතාකරපු වෙලාවෙ හිතුණෙ ඔහුට අවධානය දිනාගන්නවානම් වෙන දෙයක් වුණත් කරන්න තිබුණා නේද කියලා. ඔහුට ඕනෑනම් අවධානය වෙනුවෙන් ජාතිවාදියෙක් වෙන්න තිබුණා. රණවිරුවන් ගැන හැඟීම්බර කතා කියලා ඇතැම් හමුදා සෙබළුන් කළ අපරාධ යටපත් කරන්න තිබුණා.


පහුගිය අවුරුදු දහයක ආණ්ඩුව ඇතුලෙ ආණ්ඩුවෙ දේශපාලඥයන් එක්ක එකතුවෙලා දේශපාලන වාසි අරන් මාර සිනමාකාරයෙක් වෙන්න තිබුණා. ආයතනවල ප්‍රධානී තනතුරු අරන් මේ ආණ්ඩුව ආ විගස මේ ආණ්ඩුව එක්කත් එක්වෙන්න තිබුණා. ඒ වෙනුවට ඔහු කරන්නෙ හිටපු ආණ්ඩුවට හොඳටම පහරදුන්න එක. මේ ආණ්ඩුවේත් කේන්තිය දිනාගන්න විදියෙ වැඩ කරන එක.
රූපවාහිනී, ගුවන්විදුලි නාලිකාවල, පුවත්පත්වල සහයෝගය අරගන්නට ඔවුන් වෙනුවෙන් ඕනෑ දෙයක් කරන්න තිබුණා. ඒ වෙනුවට ඔහු කරන්නෙ මේ මාධ්‍ය ආයතනවල කුණු අවුස්සලා ඔවුන්ගෙත් කේන්තිය දිනාගැනීම.


ඔහු මේවා කරන්නෙ මොන අරමුණින්ද කියලා දන්නෙ ඔහුගෙම හෘදය සාක්ෂිය. අපි එළියෙ ඉඳන් ඒ ගැන මොනව කිව්වත් වැඩක් නෑ. මොනව වුණත් ඔහු කරන්නෙ සාපේක්ෂව යහපත් දේවල්. ඒවායෙ තාක්ෂණික දෝෂ තියෙනවානම් මිත්‍ර ලීලාවෙන් ඔහුගෙ මුහුණටම ඒවා කියන්න පුළුවන්.


******************************************************************


ඔහු කරන සමහර දේවල්වලින් මගෙත් හිත රිදිලා තියෙනවා. කේන්ති ගිහිල්ලාත් තියෙනව. එහෙම තමයි. මිනිස්සු කරන හැමදේම තව මනුස්සයෙකුගෙ සතුටට විතරක් හේතුවෙන්නෙ නෑ. බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ කරපු දේවල්වලින් වුණත් ‍අනෙක් අයට හිත්රිදිලා ඇති. වැදගත් වෙන්නෙ තමන් කරන දේවල් ගැන තමන්ටම තියෙන තක්සේරුවයි.


*****************************************************************





ජාතිවාදය වෙනුවට ජෝතිවාදය ගැන වතාවක් විමල් කැටිපෙආරච්චි කියල තිබුණ. ඇතැමුන් ජාතිවාදයට විරුද්ධයි. ඇතැමුන්ගෙ ඇතුලෙ ජාතිවාදය තියෙනවා. ජෝතිවාදය කියන්නෙ මොකක්ද? අර ජාතිවාදයට විරුද්ධ අය මහා ප්‍රතිපත්ති, ගැඹුරු සංවාද එක්ක ජාතිවාදයට විරුද්ධ වෙද්දී ජෝතිවාදීන් සරල මනුෂ්‍ය හැඟීමකින් ජාතිවාදයට එරෙහිවුණා. 

රන්ජන්වාදය වුණත් දූෂණය වංචාවට විරුද්ධ ඒ වගෙ සරල තියරියක්. හොරාට හොරා නොකියා මොනව කියන්නද කියල රන්ජන් අහන්නෙ ඒ නිසයි. ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් එක්ක අපි චෝදනාවක් එල්ල කරද්දී සියපාරක් එතික්ස් ගැන කියනවා. රන්ජන් සිදුවීම සලකලා බලලා හොරා කියලා මූණට කියල දානවා. 

*****************************************************************************

හැබැයි රන්ජන් මහතා එක්ක කතාකරද්දීත් මම කීවෙ, මේ දේවල් වැරදියට පත්තුවෙන්නත් පුළුවන් කියලයි. වැරදි තොරතුරු, වැරදි දත්තවලින් ඔහු අමාරුවෙ වැටෙන්නත් පුළුවන්. යම් දේවල් ගැන තියරි, එතික්ස් තියෙන්නෙ ඒවා අවශ්‍ය නිසයි. 

****************************************************************************

නවරියන් චිත්‍රපටිය ගත්තාම මම පෞද්ගලිකව චිත්‍රපටිය වින්දෙ නෑ. ඒක විඳින්න පුළුවන් අය ඇති. ඒ අය චිත්‍රපටිය නරඹාවි. මම රන්ජන්ගෙ රඟපෑම්වලට කැමතියි. ඔහුගෙ තරු ගුණයට කැමතියි. ඔහුුගෙන් අධ්‍යක්ෂවරයෙක්ට හොඳ වැඩක් ගන්න පුළුවන් කියල විශ්වාස කරනවා. ඉතින් මේ චිත්‍රපටිය ගැන මට චෝදනා නෑ. නිහඬ වෙනව විතරයි. මායා චිත්‍රපටියට මම කැමතියි. ඩොනල්ඩ් ජයන්ත රන්ජන්ගෙන් උපරිමය ගත්තා. ඩොනල්ඩ්ට රන්ජන්, හේමාල්ව සම ප්‍රධාන චරිත දෙකකට දාලා හොඳ චිත්‍රපටියක් කළොත් අපට ඇඟ හිරිවට්ටාගෙන බලන්න පුළුවන් වේවි.  
 
 


3 comments:

  1. රන්ජන් වැඩක් කරන්න හදන,කරන්න වුවමානවක් තියෙන,නමුත් හරියට කොලේ ඉරා ගන්නේ නැතුව වැඩේ කරන්න දන්නේ නැති චරිතයක්.හැබැයි මම කැමති මිනිහෙක්.

    ReplyDelete
  2. මට රන්ජන් ව දෙපාරක් විතර හම්බවෙලා කතා කැරල තියෙනව. හැබැයි උසාවියක දී නීතියක් සම්බන්දව. පුද්ගලයෙක් විදිහට හොඳයි. කියන්න තරම් වරදක් නැහැ. දේශපාලනයේදීත් අනිත් හිපාටුවන්ට සාපේක්ෂව රන්ජන් යහපත් වගේම අඩුවෙන් හොරකං කල කෙනෙක්. ඒත් නළුවෙක් විදිහට මටනම් කිසිම පොසිටිවේ දෙයක් කියන්න නැහැ. දැන් රඟපාන ෆිල්ම්ස් වල කොහොමද කියල දන්නෙත් නැහැ.Thanks

    ReplyDelete
  3. රන්ජන් රාමනායක ක්‍රිස්තියානි කාරයෙක්නේ.
    සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි කාරයෝ හිතාගෙන ඉන්නේ.
    සිංහල / මුස්ලිම් දේශපාලනඥයෝ හොරු.
    සිංහල මිනිස්සු බල්ලො. මුස්ලිම් මිනිස්සු යක්කු කියන මානසිකත්වයෙන්.
    ඒ නිසා සිංහලයෙක්ගේ වැරැද්දක් දකිනකොට රන්ජන්ට තරහා යනවා ඇති.

    ReplyDelete