Friday, June 29, 2018

බැසිල්

බැසිල් ගෝඨා ගැටුම. කුප්‍රකට ෂැංග්‍රිලා සිද්ධියෙන් පස්සේ ලංකාවෙ වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාව. ට්‍රෙන්ඩ් වෙන මාතෘකා මතුවෙලා යටපත් වුණත් බැසිල් ගෝඨා ගැටුම තමයි මෑත කාලයේදී වැඩිපුරම කතාබහට ලක්වුණ මාතෘකාව. මේ දෙන්නා අතරින් ලංකාවෙ මිඩ්ල් ක්ලාස් එක ගෝඨාට වැඩිපුර කැමතියි. සාමාන්‍ය මිනිස්සුන්ට අදහසක් නැහැ. ජනමාධ්‍ය වලිනුයි, බුද්ධිමතුන් යැයි කියාගත්ත අයයි, මහින්ද රාජපක්ෂයි තෝරා දෙන ඕනෑම කෙනෙක්ව සාමාන්‍ය ජනතාව පිළිගනීවි.

බැසිල් පොදුජන පෙරමුණේ කාර්යාලයේදී ( ඡායා - රේඛා නිලුක්ෂි )


දේශපාලනිකව සවිඥාණික, රාජපක්ෂවරුන්ට විරුද්ධ අය විතරක් මේ දෙන්නාවම පරාජය කරන හැටි කල්පනා කරනවා. එහෙම අය බැසිල්ටත් වඩා ගෝඨා ඒවි යැයි අවිඥාණික බයකින් ඉන්නවා. ඔන්න ඕකයි මේ තප්පරේ ලංකාවෙ තියෙන දේශපාලනේ.

පහුගිය සතියේ දිනයක මහින්ද, බැසිල්, ගෝඨා, චමල් කියන රාජපකක්ෂ සහෝදරවරු හතරදෙනා නුගේගොඩ මිරිහානේ තියෙන රාජපක්ෂ පවුලට අයිති ගෙදරකදී මේ දැවැන්ත මාතෘකාව ගැන සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. එතැනදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැනත්, ඒකාබද්ධයේ අනාගතය ගැනත් සාකච්ඡා කරලා තියෙනවා.

එතැනදී පොදු අපේක්ෂකයා ගැන රහස් එකඟතාවයක් ඇතිවුණා කියලා කියනවා. ඒත් ඒ කතාවේ වැඩිදුර විස්තර රාජපක්ෂවරුන්ගෙන් එළියට පිටවෙලා නැහැ. මොන තීන්දුවක් ගත්තත් රාජපක්ෂලා එකට ඉන්න ඕනෑ බව තමයි එතැනදී ඇතිවෙලා තියෙන එකඟතාවය. අනිත් එක මොන තීරණය ගත්තත් සාකච්ඡා කරලා තීරණයක් ගන්න ඕනෑ කියලත් එකඟ වුණාලු. කොහොම වුණත් මේ අභ්‍යන්තර අවුලෙන් රාජපක්ෂ පවුල බිඳීයාවි කියලා බයක් රාජපක්ෂලා අතරේම තියෙනවා.

මතුපිටින් පෙනෙන්න තියෙනවා මේ අන්තර් රාජපක්ෂ බල තරඟාවලියේ ඉදිරියෙන් ඉන්න අස්සයා ගෝඨාභය කියලා. මේ වෙද්දී ගෝඨා හොඳට ස්කෝ කරලා කියලාත් විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒක ඇත්ත නෙවෙයි. ජනාධිපතිවරණයට හත් ගව්වක් තියලා ගෝඨාභය අමුඩය ගහලා තියෙන්නෙ. කලින්ම අමුඩෙ ගහපු නිසා ගෝඨාභයගේ පස්ස පැත්ත දැන්මම පෙනෙන්න පටන් අරන් තියෙනවා. මේ තරම් කලින් දුවන්නට පටන්ගැනීමම ගෝඨාභය රාජපක්ෂ ගත්ත අපරිණත දේශපාලන තීන්දුවක්. ඇත්තටම ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් තෝරා පත්කරගන්නත් තව අවුරුද්දකට එහා තියෙනවා. ඒ කාලය වෙද්දී ගෝඨාභය හති වැටෙන්න නියමිතයි. ඒ හති වැටුණාට පස්සේත් ගෝඨාභයට ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්වෙන්න පුලුවන් වුණොත් ගෝඨාට හොඳයි. 

ඇත්තටම ඒකාබද්ධ විපක්ෂ දේශපාලන පෙරමුණ ඇතුලෙ ඉන්නවා ගෝඨාභය අපේක්ෂකයා වෙන එක වළක්වන්න ගේම් ගහන්නට සූදානම් සෑහෙන පිරිසක්. එක පැත්තකින් වාසුදේවලා, දිනේෂ් ගුණවර්ධනලා වගේ අය. ගෝඨාභය ආවෝත් අවලංගු කාසි බවට පත්වේයැයි බියක් තියෙන අය. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ වගේ අය. ඊළඟට අපේක්ෂක්තවය බලාපොරොත්තු වෙන අය. විශේෂයෙන් බැසිල්.... 

බැසිල් රාජපක්ෂ කියන්නෙ ඒකාබද්ධ විපක්ෂ පිලේ ඉන්න ටිකක් දේශපාලනිකව කල්පනා කරන නායකයා. ඇත්තටම මහින්ද රාජපක්ෂටත් වඩා දේශපාලන ඉවක්, බුද්ධියක් බැසිල් රාජපක්ෂට තියෙනවාය කියන එක බැසිල්ව කිහිප වතාවක් මුණගැහිලා සෑහෙන කතාබහ කරලා තියෙන අපට අවබෝධයක් තියෙනවා.

මේ වෙද්දී බැසිල් රාජපක්ෂ උතුරු පළාතේ වෘත්තිය සමිති හදන්න පටන් අරගෙන තියෙනවා. පුංචියට හෝ උතුරේ ඡන්ද පොදුජන පෙරමුණට වැදගත් බව බැසිල් දන්නවා. ඒ වගේම හතුරන් කේන්ද්‍ර කරගත්ත දේශපාලනයක් වෙනුවට සියළු ජනවර්ග එකතු කරගත්ත දේශපාලනයක් මේ වෙලාවේ කරන්න ඕනෑ බව තමයි බැසිල් රාජපක්ෂගේ අදහස. ඒ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ වැඩපිළිවෙලක් කරගෙන යනවා.

අපි කැමති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට ඉඩ නොලැබුණොත් ( දැනටමත් ඉඩ ඇහිරිලා.) ඊළඟ ජනාධිපතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ බලයට එනවානම්.

ලංකාවෙ කිසිම දේශපාලඥයෙක්ව විශ්වාස කරන්න බැහැ. අපි සතපහකට දේශපාලුවොන්ව විශ්වාස කරන්නෙ නෑ. ඒත් දේශපාලනය ගැන කතා නොකර අත්හරින්නත් බැහැ. ඒ වගේම දේශපාලනය ගැන ප්‍රායෝගිකව කල්පනා කරන්නත් වෙනවා.

ලංකාවේ දැන් ඉන්න නායකයන් දෙන්නා ගැන සාමාන්‍ය ජනතාව අතරෙ තියෙන්නෙ දැවැන්ත සැකයක්. අවිශ්වාසයක්. ඒ බව විවිධාකාරයේ මිනිස්සු එක්ක කතාබහ කරද්දී අපට හොඳට වැටහෙනවා.

අපි කියන්නෙ මොණරාගලදි හමුවෙන ගොවියා. රජරටදී හමුවෙන ගොවියා. ( අනිවාර්යයෙන්ම ) හම්බන්තොට ගොවියාගේ මානසිකත්වය ගැන විතරක් නෙවෙයි. කොළඹ කොටුවේ මාකට් එකේදීත් වතාවක් අපි දෙන්නාම දේශපාලන සංවාදයක සෑහෙන වෙලාවක් හිටියා. එතැනදීත් මිනිස්සු ඉල්ලන්නේ හිත පිරෙන නායකයෙක්ව.

කරන්න දෙයක් නෑ. අපේ කලාපයේ දේශපාලනයට හිත පිරෙන නායකයෙක්ව අවශ්‍යයි. හැබැයි ඒ නායකයා අනවශ්‍ය ලෙස බලය පාවිච්චි කරන කෙනෙකුත් නොවිය යුතුයි.

ලංකාවෙ මිනිස්සු අතරේ තියෙන නායකයෙකු අවශ්‍ය බව කියන මානසිකත්වය දේශපාලනයේදී නොසලකා හරින්න බැහැ. එහෙත් එක මායාකාරී නායකයෙක් ඇවිත් රට ගොඩගනීවි කියන මිත්‍යා විශ්වාසයේ අපට ඉන්නත් බෑ. ඒත් මහපොළොවෙ මිනිස්සු අතර නැවතත් රාජපක්ෂ පවුලේ නායකයෙක් ඉල්ලනවා. මේ උභතෝකෝටිකයට ලංකාවෙ දේශපාලනය මුහුණදීලා ඉන්නවා.

රටේ නායකයා ජනතාවගේ හිත දිනාගත්ත, විශ්වාසය දිනාගත්ත නායකයෙකු වීම රටක දියුණුවට අත්‍යාවශ්‍ය දෙයක්. ඇත්තටම සාමාන්‍ය පුරවැසියා ඇඳේ බුදියන එකට පවා රටේ නායකයා කවුද කියන එක බලපානවා. ඒක හොඳටම දැනෙනවා. වගාවක් කරලා, ඒක විකුණගන්න ෆිට් එක එන්නටත් රටේ නායකයා ගැන ආකල්පය බලපානවා. බතක් උයාගෙන කන්න හිත දෙන්නත් රටේ නායකයා ගැන ආකල්පය බලපානවා. 'රාජා භවතු ධම්මිකෝ' කියල බෞද්ධ පාඨයකුත් තියෙනවානේ. රජු කියන වචනය අයින් කළත් රටේ නායකයන් ගැන මිනිස්සුන්ට තියෙන හැඟීම මොකක්ද කියන එක අතිශයින් වැදගත් දෙයක්. රනිල් වික්‍රමසිංහ කියන දේශපාලඥයා අමන විදියට අමතක කරලා දැම්මෙත් ඒ කාරණයෙ වැදගත්කම.

ඒ නිසා ලංකාවෙ ඊළඟ නායකයා කවුද කියන කාරණය සලකා බලද්දී 'සටහන්' ලියන අපි දෙන්නාගේ පෞද්ගලික කැමැත්ත තියෙන්නේ මිනිස්සුන්ගෙ ගෞරවය ලබන්න තරම් කැරස්මාවකුත් තියෙන, ඒත් මිලිටරි පාලකයෙක් නොවෙන, පොඩියට හෝ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන කෙනෙක්ව. 

ඉන්න අය අතරින් ඒ සුදුසුකම තියෙන්නෙ බැසිල් රාජපක්ෂට. ඒ බැසිල් රාජපක්ෂ හොඳ නිසා නෙවෙයි. ඔහු රට ගොඩගනීවියැයි විශ්වාසයක් තියෙන නිසා නෙවෙයි. ( එහෙම විශ්වාසය තැබිය හැකි නායකයෙක් ඊළඟට රට බාරගන්න පුලුවන් තත්වෙක නෑ. ) සාපේක්ෂව ගැලපෙනම චරිතය ඔහු නිසා.

( මේ අදහස දැනට තියෙන යෝජනා අතරින් අපේ කැමැත්ත පමණයි. අපේ අදහස ඔය මොකා ආවත් එකයි කියන එක. රට ගොඩගන්න පුලුවන් නායකයන්ට නෙවෙයි. 'අපි' මිනිස්සු එකතුවෙලා කරන දේශපාලන ක්‍රියාවලියකින්. විද්වතුන්, රාජ්‍ය නිලධාරීන්, පුරවැසියන්, ආයතන, අධිකරණය, මාධ්‍ය විතරක් නෙවෙයි පන්සල පවා වෙනස් නොවුණොත් රට ගොඩ යන්නෙ නෑ. මායාකාරී නායකයෙක් ඇවිත් රට ගොඩගනීවියැයි හිතන්නෙපා. ගෝඨා වගේ ඔය හැම ක්ෂේත්‍රයක්ම පාලනය කරන්න යන කෙනෙක් ආවොත් කොහොමත් රට ගොඩයන්නෑ. )

රනිල් වික්‍රමසිංහ හෝ මෛත්‍රීපාල සිරිසේන රට බාරගත හැකි තත්වයක නැහැ. මේ දෙදෙනාම ජනතාවගේ කෙළ පිඬ උරුම නායකයෝ. මහින්ද රාජපක්ෂටත් උරුම ඒකම තමයි. හැබැයි මහින්ද රාජපක්ෂ පිළිබඳව තවමත් විශ්වාසය තබන පිරිසක් ඉන්නවා. ඒක අපට නොතකා හරින්න බැහැ. ඒ විශ්වාසය දිනාගත්තෙ සම්පූර්ණ බොරුව වැපිරීමෙන් පමණක් වුණත්.

බැසිල් රාජපක්ෂ ආවොත් ලිබරල් වෙනස්කම් කරනු අැතිද? වංචාවට පෙළඹෙන එකක් නැද්ද? ඔහු රට ගොඩගනීවිද?

කොහෙත්ම එබඳු විශ්වාසයක් අපට නැහැ. ඒත් ගෝඨාභය රාජපක්ෂ තරම් ඔහු දරුණු නොවන බව විශ්වාසයි. එජාප නායකයෙක් තරම් රට අරාජික නොකරනු ඇති බව විශ්වාසයි.

අඩු වැඩි වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම පාවිච්චි කරයි. ජාතිකවාදී ලක්ෂණ තියෙයි. හැබැයි අන්ත ජාතිවාදයට වඩා ජාතික එක්සත්කමට බැසිල් වැඩි තැනක් ලබාදේවි. ඇත්තටම ජාතික එක්සත්කමට රනිල් වික්‍රමසිංහ නොදෙන වැදගත්කමක් බැසිල් දෙයි. රනිල් වික්‍රමසිංහ බලන්නෙ අන්තවාදය අවුස්සලා ඒකෙන් මධ්‍යස්ථ මිනිස්සුන්ගෙ ඇතිවෙන පිළිකුල හරහා බලයට එන්න. ගෝඨා හදන්නේ ජාතිකවාදීන්ගේ ලේ ප්‍රකෝප කරලා ඒකෙන් බලයට එන්න. 

බැසිලුත් මේ උපක්‍රම අතර කොහේ හෝ ඉඳියි. හැබැයි බැසිල් ඇහුම්කන් දෙන්නට ඉඩක් තියෙනවා. බැසිල්ම කියන විදියට හිටපු ආණ්ඩුවේ තිබුණු අඩුපාඩු අවම කරගන්න ඕනෑ. 

බැසිල් ඇතැම්විට සුපුරුදු දූෂණයේ යෙදෙයි. අනෙක රාජපක්ෂ ආණ්ඩුවේ ගති ලක්ෂණ ගොඩක් නැවත බලයට පත්වෙයි. ගෝඨාට ආරක්ෂක අංශ බාරදෙයි. ඒත් යහපාලනය කියලා රටට සිද්ධවුණ සෙත මොකක්ද? 

2 comments:

  1. අමන මිනිසුන් බහුතරයක් ඇති රටක ප්‍රජාතන්ත්‍රවාදය අනුව බලයට එන්නේ ද ඒ බහුතරයට සරිලන එකෙකි!

    එහි වරදක් නැත.

    මක් නිසා ද යත් ඒ බහුතරය නියෝජනය කිරීමට අර පත්වෙන එකා තරම් වෙනත් සුදුස්සෙකු නැති නිසා ය.

    ReplyDelete
  2. චම්පික රණවක හොඳ තරඟයක් දෙනවා අනිවාර්යෙන්ම යූඇන්පීයෙන් ඔහුව දැම්මොත්..

    ReplyDelete