Friday, June 05, 2015

දැන් ඉන්න උන් වික්ටර් අයිවන්ව දන්නැද්ද? (1)


වික්ටර් අයිවන් මහතා ගැන සටහනක් ලියන්නට ටික දිනක පටන් සිතා සිටියෙමි. එය ටිකක් කල්පනා කොට හෙමිහිට ලියන්නට සිතා හිටියත් ඒ සඳහා විවේකයක් සොයාගැනීමට මෙතෙක් නොහැකි විය. එහෙත් හෙට උදෑසන 9.30ට ජාතික පුස්තකාලයේදී වික්ටර් අයිවන් මහතාගේ තිස් වසරක මෙහෙවර ගැන විද්වතුන් කිහිපදෙනෙකු විසින් ලියූ පොත එළිදක්වන නිසා අද කුමක් හෝලිවිය යුතුයැයි සිතුවෙමි.

එහි ප්‍රතිඵලය ලෙස කල්පනා කොට සංයමයෙන් ලියූ සටහනක් වෙනුවට සුපුරුදු ලෙසම සටහනක් හදිසියේ ටයිප් කොට අප්ලෝඩ් කර තවත් වැඩකට දිව යන්නට සිදුවිය.

සාර්ථක ගමනක් යන කිසිවෙකුට පරමාදර්ශී චරිත හෝ වීරයන් සිටිය යුතු නැත. කාවවත් අනුගමනය කළ යුතු නැත. ඒ නිසා අයිවන් මට වීරයෙක් හො පරමාදර්ශී චරිතයක් නොවේ. (මං සාර්ථක ගමනක් යනව කියල නෙවෙයි කියන්නේ... කාගෙවත් අනුගාමිකයෙක් නොවිය යුතුයි කියල) එහෙත් මාධ්‍යවේදියෙක් ලෙස මා වඩාත් ආභාෂය ලබන්නට කැමති පුද්ගලයන් අතරින් ප්‍රමුඛතමයා ඔහු යැයි කිව හැකිය. (ජනරංජන, ලසන්ත රුහුණගේ, විමලනාත්, ටිරන් කුමාර වගේ රාවයේ අයගෙත් බිඟුන්, ශාලික වගේ යාළුවන්ගෙත් අභාෂය තමා අයිවන් හැරුණහම මට වැඩිපුරම ඇත්තේ) ඒ නිසා මට අයිවන්ව වැදගත්ය.
රාවයේ මම අවුරුදු එකහමාරකි. පසුගිය මැය මාසයේ විශ්‍රාම ගැනීම සඳහා රාවයෙන් වික්ටර් අයිවන් මහතා යනතෙක් නතිපතා ඔහුව ළඟින්ම දුටුවෙමි. එහෙත් මම ඔහු සමඟ කතා කර ඇත්තේ දෙවරක් පමණි. පිළිවෙලට හැඳ දුම්වැටිය දල්වාගෙන සෑම පුවත්පතක්ම කියවමින් කල්පනා කර පරණ පත්තර පිටු පෙරලමින් තොරතුරු ටික එකතු කොට ළඟ තබාගෙන අපිළිවෙල අත්අකුරු වලින් පිළිවෙලට ලියන දේවල් පමණක් අකුරක් නෑර කියවීමි. ඔහු සමඟ කතා කරන්නට ඕනෑ තරම් දේ වීය. නමුත් මට තිබූ ප්‍රධාන ප්‍රශ්ණය ඔහුව ආමණ්ත්‍රණය කරන්නේ කෙසේද යන්නයි.

රාවයේ ලොක්කන් හෝ සර්ලා නොවීය. හැමෝම ඔහුව ඇමතුවේ අතුල අයියා යනුවෙනි.

අමාරුවෙන් හිත හදාගෙන කර්තෘ මණ්ඩලයේ අනිත් අයට අයියා කීවත් අවුරුදු දහනවයක කොල්ලෙක් ලංකා ඉතිහාසයේ දැවැන්තම මාධ්‍යෙව්දියාට අයියා කීම නුසුදුසු යැයි මම සිතීමි. සර් කියනවාට ඔහු කැමති නොවීය. ඉඳහිට ටිරන් අයියා සමඟ කතාවට වැටෙන අතුල අයියා දේශපාලනය ගැන ඔහුගේ අදහස් කියයි. කේන්දර නොබැලුවත් ඔහුගේ අනාවැකි වරදින්නේම නැත. මම උනන්දුවෙන් අසා සිටිමි. ඔහු ඒ බව දනියි.

මේ හිතට ආ පෞද්ගලික දේවල් කිහිපයකි. සටහන ලියන්නට හිතුවේ උඩ තියෙන මාතෘකාව තේමා කරගනිමින්ය. ටයිප් කරන පරපුරේ බොහෝ අය අයිවන්ව හරියට දන්නේ නැත. අයිවන් යනු කවුද? කෙටියෙන් මෙසේ කියමි.

අයිවන් යනු රාවයයි. රාවය යනු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයයි.

ජේවීපියත් එජාප ආණ්ඩුවත් තරඟයට මෙන් මිනී මරණ කාලයක අයිවන් රාවය බිහිකළේ ආයුධ වෙනුවට පෑනෙන් සටන් කිරීම සඳහාය. ඒ වසර තිහකට පෙරයි. තවමත් රාවය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරමින් සිටියි. ඒ හරියන උපක්‍රම මෙන්ම වරදින උපක්‍රමද භාවිතා කරමින්ය.

ජේආර්ගේ, ප්‍රේමදාසගේ කාලයේ සටන් කළ වික්ටර් අයිවන් මහතා 94දී එජාප ආණ්ඩුව පෙරලුවේය.. පොදු පෙරමුණු ආණ්ඩුව හදන්නට වැඩිම දායකත්වයක් දුන්නේ ඔහුය.ඡන්දයෙන් පසු ඔහු චන්ද්‍රිකා දුන් කිසිම තනතුරක් ගත්තේ නැත. කිසිම වරප්‍රසාදයක් ගත්තේ නැත. රත්මලාන ආසන සංවිධායකකම හෝ ජනාධිපති මාධ්‍ය උපදේශකකම ඉල්ලුවේ නැත. ලේක්හවුස් සභාපතිකම දුන්නද එයට පයින් ගැසීය. (කර්තෘ මණ්ඩල උපදේශකකම ගත්තෙත් නැහැ හොඳේ)

බලයට ආ චන්ද්‍රිකා පිස්සු කෙලින බව ඔහු දිටීය ඉන්පසු ඔහු චන්ද්‍රිකාට පන්න පන්නා ගැසීය. මහින්ද වෙනුවෙන් යුද්දය සමයේ පෙනීසිටි අයිවන් පහුගිය ජුනි මාසයේ එක්වරම ගෝඨාභයගේ සෙවණැල්ල ලියමින් යූටර්න් එකක් ගැසීය. එය මහින්ද ආණ්ඩුවේ අවසානය විය. (හෙවණැල්ල මෙතැනින් කියවන්න)
අයිවන් ලියන දේවල් මිනිස්සු පිළිගත්හ. එය රටක ආණ්ඩු පෙරලන්නට තරම් බලවත් වීය.
94 චන්ද්‍රකා ගැන අත්හදා බැලීමෙන් පසු ඔහු පාඩමක් ඉගෙනගත්තේය. ඔහු වත්මන් මොහොතට වඩා වැදගත් වෙන්නේ ඒ පාඩම නිසාය. ඒ දේශපාලයන් විශ්වාස නොකළ යුතු බවයි. දේශපාලනය පමණක් විශ්වාස කළ යුතු බවයි. 

ඔබ දේශපාලනය කරන්න, කළ යුතුමයි.... එහෙත් දේශපාලඥයන් විශ්වාස නොකරන්න.. 

වෙලාවේ ප්‍රශ්ණය නිසා තවතවත් දිගට ලියන්නට අමාරුය. (මොනව ලියවුණාද දන්නෑ. සරත් සිල්වා, පෑන අහිංසකද? සාපරාධී අපහාස නීතිය ගැන ලියන්න බැරිවුණා. අයිවන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියල ඔප්පු කරන්නත් බැරිවුණා.) මේ සටහන මෙතැනින් නවත්වා හොඳින් කල්පනා කොට ඔහු ගැන තවත් සටහනක් ලියමි.

පළමු සටහන් අවසන් කරන්නට මෙසේ කියමි. සමාජය තුල වික්ටර් අයිවන් ගැන විවේචනද තිබේ. මා තුලද ඔහු දරණ ඇතැම් ස්ථාවරයන් ගැන විවේචන ඇත. එහෙත් ඔහුගෙන් අපි හැමෝම ඉගෙනගත යුතුය. රාවයේ කර්තෘ මණ්ඩලයේ සිටින අපට වගකීමක් තිබේ. ඒ ඔහු ලද අත්දැකීම් වලින් ඉගෙන ඔහු පටන්ගත් දෙය වඩාත් නිවැරදිව ඉදිරියට කරගෙන යෑමය.

16 comments:

  1. ''අයිවන් යනු රාවයයි. රාවය යනු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයයි.'' යම් විවේචන තිබුණත් විකටර් අයිවන් කියන්නෙ විශිෂ්ඨ මාධ්‍යෙව්දියෙක්.. රාවය වගේ පුවත්පතක් නැහැ වෙන.. ආයෙ බිහිවෙන පාටකුත් නැහැ.

    හදිසියෙන් ලිව්ව වුණත් හොඳ ලිපියක් මල්ලි.

    ReplyDelete
  2. අපි නම් ඔය විට්ටර් අයිවන් ව දන්නේ එයා සෙමිනරියේ හිටි කාලේ ඉඳන් මයි...

    ReplyDelete
  3. වික්ටර් අයිවන් වගේ මිනිස්සු මැරෙන තුරු උන් ගෙ වටිනාකම් ගැන කියන්න හොඳ නෑ. ජිවත්ව ඉන්න කං කරන්න ඕන පුළුවන් තරම් බනින එක. කියල උඩුවා මීට පස්සේ දැනගත්තොත් හොඳයි.

    ReplyDelete
  4. මේ ළඟදි මට හම්බ උන කැම්පස් කොල්ලෙක් රජීව විජේසිංහ කියල කෙනෙක්ව දන්නෑ කිව්වා. පිස්සන්ව නම් නොදැන ඉන්න එකම හොඳයි. ඒත් ජාතියක් (රටක්) විදියට අපි අනාථයි

    ReplyDelete
  5. ගිය වසරේ මොරටුව විවියෙන් උපාධිය ගත් දැන් පශ්චාත් උපාධියක් කරන ළමයෙකුගෙන් ඇසූ විට ඇය ජනවාරියේ ඡන්දෙට ඉදිරිපත් වුණු අපේක්ෂකයින් බහුතරයක ගේ නම් දැන සිටියේ නෑ.

    ReplyDelete
  6. බුද්ධාගම ආගමක් නෙවෙයි දර්ශණයක් කියලා ආගමකටත් වඩා බුද්ධාගම කරේ තියන් අදහන අය ඉන්නවා....

    ඔයත් හරියට අයිවන් අදහන්නේ නෑ කියලා ඒත් අදහනවා වගේ ලයින් එකක් රීඩින් බිට්වීන්ද ලයින්ස් පේනවා....

    ReplyDelete
  7. //ඔයත් හරියට අයිවන් අදහන්නේ නෑ කියලා ඒත් අදහනවා වගේ ලයින් එකක් රීඩින් බිට්වීන්ද ලයින්ස් පේනවා....//

    හරියටම හරි... ලින් මැඩි මානසිකත්වය...

    when they cant work in English, when they are unaware of great journalists outside Sri Lanka, Victor Ivan is the MAN for them...

    ගස් නැති රටේ පැලවූ එඬරු ගසේ කතාව...

    ReplyDelete
  8. "විකටර් අයිවන්"ව පුද්ගලිකව හඳුනන්නේ නැතත් ඔහුව දන්නවා ලේඛකයෙක් විදියට සහා වරදාන ඉදිරියේ නොවැටුණු පුද්ගලයෙක් ලෙසට.

    ReplyDelete
  9. මේන් මම රාවයේ 25 වන සංවත්සරයට ගිහින් කළකිරීමෙන් ලියාපු කවියක් වගේ එකක්..

    http://maathalan.blogspot.com/2012/03/ravaya-silver-jubilee.html

    ReplyDelete
  10. වික්ටර් අයිවන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා පුරුෂයෙකි."සාර්ථක ගමනක් යන කිසිවෙකුට පරමාදර්ශී චරිත හෝ වීරයන් සිටිය යුතු නැත. කාවවත් අනුගමනය කළ යුතු නැත. ඒ නිසා අයිවන් මට වීරයෙක් හො පරමාදර්ශී චරිතයක් නොවේ " කියා ඔබ කීවත් වික්ටර් යනු සියලුම දෙනාට පරමාදර්ශී විය යුතු චරිතයකි.

    වික්ටර්ට ඔහුගේ සුවිශේෂී කාර්යභාරය ඉටුකිරීමට බාහිර සාධක බලපාන්නට ඇත. දේශීය විශේශීය ප්‍රභූ සහාය ඊට හේතුවන්නට ඇත.ඒ වුනත් ඔහුගේ උදාර කාර්යභාරයට ඒ කිසිවකින් පළුද්දක් නැත.

    යම් වෘත්තිකයන් පිරිසක් පූජනීය තත්වයට පත් කළොත් ඔවුන් හා පොදු ජනයා අතර පරතරයක් ඇතිවේ. එවිට උත්තර මනුෂ්‍ය ස්වභාවය පත්වන අර කී වෘත්තිකයන් කරන කොයි වැඩෙත් නිවැරදිවේ. මහජනයාට වෙන්නේ එහෙයි හාන්දුරුවනේ කියාගෙන වැද වැටෙන්නටය. මෙරට පූජක පක්ෂයට සිදුවී ඇත්තේ එයයි.

    වික්ටර් බොල් පිළිම බිද හෙළීය. ඔහු අධිකරනයේ දූෂන හෙළි කළේය.නඩුකාරවරු අද්භූත සත්ව විශේෂයක් නොව නීතියට යටත් පිරිසක් බව පෙන්වා දුන්නේය.

    රාවයේ සර්ලා හෝ ලොක්කන් නැතැයි ඔබ කියයි. ඇත්තය. වික්ටර්ටද කිසිවෙක් ලොක්කන් හෝ සර්ලා නොවීය. මේ වැදනමස්කාරකරන දීනබව වෙනුවට අදීන සමානාත්මතාවයක් හා යුක්තියක් වික්ටර් රටට තිළින කළේය.

    වික්ටර් ගේ දැනුම් සම්භාරය ගැනනම් කිසිවක් නොකියමි. ඒ ගැන කොමෙන්ට් එකක් දමන්නවත් මම සුදුසු නැත.ඔහුගේ දැණුම ඒ තරම් විශිෂ්ටය.එය බොහෝ ඉසවු වලට විහිදුනු ප්‍රශංසනීය දැනුමකි.

    වික්ටර් මහා පුරුෂයෙකි. එසේම මහා පුරුෂ ස්ත්‍රී පරම්පරාවක පෙරගමන්කරුවාද විය.

    ReplyDelete
  11. වික්ටර් අයිවන් ගැන 94 න් පස්සේ නවත්තපු එක බොහොම හොඳයි. ඔය රාවයේම තමයි බොහෝ කලකට කලින් රාජපක්ෂවරුන් පොරවල් කරමින් ළිපි පෙලක් පලවුනේ. ඊට පස්සේ මහින්දගේ කාළේ එයා දරුවෝ හදන හැටි ලිව්වේ. එක හොරකමක් දූෂණයක් වාර්ථා කලේ නෑ. සමහර විට එයා ඒවා ගැන නොදන්නවත් ඇති. මේ සැරේ නම් ආන්ඩු වෙනස් කළේ වික්ටර් අයිවන්ට වඩා බොහෝ බලවත් ෆේස් බුක් එකේ "හුජ්ජා කොල්ලෝ, කෙල්ලෝ"

    විකටර් අයිවනුත් අනිත අය වගේම සයිබරේට පට්ට බයයි.

    නමුත් මාතලන් එදා සිට අද දක්වාම නොකඩවා රාවය පාඨකයෙක්.

    ReplyDelete
    Replies
    1. ඔය සයිබරේ තමා ටික කාලේකට කලින් හම්බයන්ට ගහනවා කියලා රට ගිනි තිබ්බේ.. (දැන් විල්පත්තුවෙන් ආයේ පටං අරං)
      සයිබරේට මොළයක් නෑ.. සයිබරේට මොළේ දුන්නේ කවුද කියල හොයන්න
      ෆේස්බුක් කොල්ලෝ කෙල්ලෝ හුජ්ජා තමයි...
      //විකටර් අයිවනුත් අනිත් අය වගේම සයිබරේට පට්ට බයයි.// අතුල අයිය කියෙව්වොත් පුකෙං හිනාවෙයි...

      Delete
  12. 'ගෝඨාභයගේ සෙවණැල්ල' කියවන්න ලින්ක් එක හරියට වැටිලා නෑ වගේ නේද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න. මට ඒ ලින්ක් එක හොයාගන්න බැරි වුණා. අපේ වෙබ් අඩවියේත් හොයාගන්න බැරි වුණා

      Delete
    2. http://www.realitypost.info/read_more.php?id=277

      Delete