Wednesday, September 30, 2015

මාධ්‍යයට අත නොතබනු..!!!

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලවරණය පහුගිය අඟහරාවාදා පැවැත්වුණා. එහිදී හිටපු සභාපති ලසන්ත රුහුණගේ නැවත වරක් සභාපති ලෙස පත්වුණා. නිලධාරී මණ්ඩලය ලෙස ලසන්ත රුහුණගේ මහතාට සමගාමීව නාමයෝජනා ලබාදුන් කණ්ඩායමේ සියළුදෙනා තේරී පත්වුණා.

ඡන්දයේදී සංගමයේ බලය අල්ලාගැනීම වෙනුවෙන් දිවයින පුවත්පතේ දීප්ති අධිකාරී සහ උපාලි ද සේරම් ඇතුළු පිරිසක් (හත්දෙනෙක් විතර තමයි හිටියේ) වත්මන් ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි මහතාගේ ආශිර්වාදය එක්ක තරඟ කළා. (ඡන්දය ලබාගන්න සමන් වගආරච්චි මහත්මයා කැම්පේන් කළ බව ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා.) කෙසේ වෙතත් මේ වගආරච්චි මහත්මයා දාපු කණ්ඩායම ඡන්දයේදී අන්ත පරාජයක් ලැබුවා. 

මේ ඡන්දයට පෙර සහ පසු වරින් වර ඉඟි පළවූ ආකාරයට ජනමාධ්‍ය ඇමතිතුමා මාධ්‍ය සහෝදරයන් කිහිපදෙනෙක්වත් අල්ලගෙන දාන්නට යන සෙල්ලමක් ගැන ලියන සටහනක්...
ඊට කලින් අද දිණමිණ පත්තරේ පළවුණ ප්‍රවෘත්තියක් සලකල බලන්න ඕන......
හිටපු සභාපති පෝද්දල ජයන්ත
සමන් වගආරච්චි සහෝදරයා  වීදි සටනක උද්යෝගයෙන්

කොළඹ පිහිටි ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයට අයත් ඉඩම හා ගොඩනැගිල්ල පිළිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක් දෙසතියක් ඇතුළත තමාට ඉදිරිපත් කරන ලෙස ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව මහතාට ඊයේ (29) උපදෙස් ලබා දුන්නේය.
ඇමැතිවරයා මෙලෙස උපදෙස් ලබා දුන්නේ “වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය කුණු ගොඩක්. අපි එතනින් පටන් ගනිමු” යන ශීර්ෂ පාඨය යටතේ පසුගිය ඉරිදා ප්‍රධාන ජාතික පුවත්පතක පළ වී තිබූ ලිපියක් පිළිබඳ අවධානය යොමු කරමිනි.

තමාගේ අභිලාෂය වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සිහින සැබෑ කිරීම බවත් මාධ්‍යවේදීන්ට යම් යම් ප්‍රශ්න ගැටලු මතුවන ඕනෑම අවස්ථාවක තමා ඊට මැදිහත් වන බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.
වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයට අයත් ගොඩනැගිල්ල පිළිබඳ පූර්ණ විමර්ශනයක් පවත්වා එය මාධ්‍යවේදීන්ගේ ප්‍රයෝජනය සහ උන්නතිය සඳහා යෙදවීම තම එකම අභිප්‍රාය බවද ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දෙමින් තවදුරටත් ප්‍රකාශකර ඇත.

උඩ ප්‍රවෘත්තියේ තියෙන විදියට පසුගියදා ජාතික පුවත්පතක පළවූ ලිපිය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි නිලවරණයේදී ලේකම් තනතුරට ඉල්ලල පරාද වුණ දිවයින පත්තරේ  දීප්ති අධිකාරී ඡන්දය කට උඩ තියාගෙන ලියූ ලිපියක්. ඒ ලිපියේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ගොඩනැඟිල්ල ගන්න දෙයක් නෑ වගේ කතාවක් තියෙනවා.. මට එන ප්‍රශ්ණේ මෙච්චර දවසක් සමන් මහත්තයලගේ මාධ්‍ය නිදහස උදෙසා ක්‍රියාකාරී කමිටුවේ රැස්වීම් වලට මේ ගොඩනැඟිල්ලටම එද්දී මේ කියන විනාසේ දැක්කේ නැද්ද? නාමයෝජනා බාර දෙන්න එද්දිත් දැක්කේ නැද්ද? ඡන්දෙට දවස් දෙකක් තියෙද්දී අපේක්ෂකයෙක් මේ වගේ ලිපියක් ලිව්වේ ඇයි?

මේ ලිපියේ තැනින් තැන ජනමාධ්‍ය ඇමතිවරයාව ආමන්ත්‍රණය කරලා තියෙනවා. ජනමාධ්‍ය ඇමතිතුමනි ඉඩම බේරලා දෙන්න.. වගේ. පනතකින් මේ සංගමය පිහිටුවා ඇති බවකුත් ආණ්ඩුවෙන් ඉඩම ලබා දී ඇති බවකුත් කියලා තියෙනවා.

මේ සංගමය පනතකින් වත් ආණ්ඩුවකින්වත් හදපු එකක් නොවන බවත් සංගමයේ ඉඩම ගැන අංශුමාත්‍ර අයිතියක්වත් ඇමතිවරයාට නැති බවත් තදින් කියන්න ඕන. 

ඉඩමේ සම්පූර්ණ අයිතිය වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට. 

සංගමයේ අයිතියත් ජනමාධ්‍යවේදීන්ට. මහින්ද ආණ්ඩුව සුධර්මන් රදලියගොඩලා දම්මලා අල්ලන්න හැදුවත් රනිල්ගේ ආණ්ඩුව සමන් වගආරච්චිගේ හෙංචයියන් දම්මලා අල්ලන්න හැදුවත් මේ සංගමය කාටවත් ඕන විදියට නටවන්න බැරි වුණා. දැන් ඡන්දයෙන් අල්ලන්න බැරි වුණ සංගමය ඉඩමක් පෙන්නලා අල්ලන්න හැදුවත් එක එකාට මේ සංගමයට අත තියන්න මාධ්‍යවේදීන් ඉඩ නොදෙන බව පැහැදිළිව කියන්න ඕන. අපට පෙනෙන විදියට එතැනදී වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විතරක් නෙවෙයි තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සහෝදර මාධ්‍ය සංවිධානත් ඉඳීවි. ඒ බව ජනමාධ්‍ය සිවිල් සමාජයේ බලය අල්ලන්න බලාගෙන ඉන්න ආණ්ඩුවට හිතවත් කෙරුම්කාර අයියලා ටික සිහිතබාගන්න ඕන.

සමන් වගආරච්චි මහත්මයා වෘත්තීය ජනමාධ්‍යවේදීන් සංගමයේ සාමාජිකත්වය ඉල්ලලා දාපු අයදුම්පත ඔහු දැන් මාධ්‍යවේදියෙක් නොවන පරිපාලකයෙක් නිසා ප්‍රතික්ෂේප වුණා. ඉන්පස්සේ ඔහු තමන්ට හිතවත් කණ්ඩායමක් දිනවන්න වැඩ කළා. එයත් අසාර්ථක වූ පසු ආණ්ඩුවේ පත්තරේ පළවෙන මේ ප්‍රවෘත්තිය වගආරච්චි මහත්මයා ඇතුළු කණ්ඩායම ආණ්ඩුවේ වුවමනාවට ආණ්ඩුවේ න්‍යාය පත්‍රයකට වැඩ කරනවාදැයි සැකයක් ඇති වෙනවා. පහුගිය ආණ්ඩුව කාලයේ ජනමාද්‍ය නිදහස වෙනුවෙන් සෑහෙන වැඩ කරපු සමන් වගආරච්චි මහත්මයා ඇතුළු අයගෙන් අපි ආදරයෙන් ඉල්ලන්නේ ජනමාධ්‍ය නිදහස තවමත් ලැබී නැති නිසා පුවත්පත් මණ්ඩලය අහෝසි කරගන්නට, මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා වැඩ කරන්නට එන්න කියලා.

ගයන්ත කරුණාතිලක ජනමාධ්‍ය ඇමතිධූරය දරන සහෝදරයාගෙන් අපි ඉල්ලන්නේ කරුණාකරලා ඔබට අයිතිනැති දේවල් වලට ඇඟිලි නොගසා ඉඳින්න කියලා. 

මාධ්‍යවේදී සහෝදරවරුන්ගෙන් ඉල්ලන්නේ ඉදිරියේදී වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සමඟ වැඩ කරන්න. අර කිව්ව විදියට මොනවා හරි ප්‍රශ්ණ තියෙනවානම් සංගමය ගැන කිසිම බලයක් නැති ඇමතිවරයාගේ පසුපස යන්නේ නැතිව සංගමය තුළ හඬ නඟලා ප්‍රශ්ණ විසඳගන්න. කියලයි.




මිනිහෙකුට වසන්නට බැහැයි කියන සංගම් කාර්යාලය තුළ මාධ්‍යවේදී සොහොයුරෙකුගේ උපන්දිනය සමරමින්.



5 comments:

  1. මාධ්‍යවේදීන්ට අපි ගරුකරනව.ඒ උඩුවල වගෙ නියම මාධ්‍යවේදීන්ට. ඇත්තටම අපේ අයිතිවාසිකම් මෙහෙමවත් රැකිල තියෙන්නෙ මාධ්‍යවේදීන් නිසා තමයි.
    නමුත් පසුගිය කාලෙ විද්‍යුත් මාධ්‍ය හැසිරුන හැටි නම් අන්තිමයි. ඒකට හේතුව ලාභය පසුපස දුවන්නට උන්ගෙ මුදලාලිල උන්ව හුරුකරන නිසා වෙන්න ඇති.
    ඇයි රාවය වගෙ ආයතනවල වැඩකරන එඩිතර යුක්තිගරුක මාධ්‍යවේදීන්ට අර මස්වැද්දන්ව යහමගට ගන්න බැරිද

    ReplyDelete
    Replies
    1. මා නියම මාධ්‍යවේදීයෙක් විදියට හැඳින්වුවාට ස්තූතියි!! එහෙත් මගේ හදාගතයුතු අඩුපාඩුනම් අනන්තයි...... හැඳින්වීමට හිමි සැබෑ තත්වය ළඟා කරගන්න උත්සාහ කරන්නම්...
      මාධ්‍ය ඉන්නේ වළපල්ලේ පහළ කොණක... ආණ්ඩු වෙනසකින් විතරක් ඒක වෙනස් කරන්න බැහැ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. තරිදු ඔබ මට අභියෝගයක් කරල තිබ්බ.ඔවු පුලුවන් නම් පෙන්වන්න මම සංගමයෙ ඡන්දයෙදී කණ්ඩායමකට උදවු කළා කියල.පැන අතේ තිබ්බ පළියට එය වැරදි විදියට යොදාගන්න එපා කියලත් මම ඔබ වැනි තරුණ මාධ්‍යවේදීන්ගෙන් ආදරෙන් ඉල්ලා සිටිනව.
    ඉතිහාසය ඔබට ඕන විදියට ලියන්න බැරි බවත් කණගාටුවෙන් උනත් කියන්න වෙනව.මම ආදරෙන් ඉල්ලන්නෙ මම මින් ඉවත්කරන්න.මට බලය ගන්න ඕනම නම් එය ගන්න සැළැසුම් කරන්නත් මම දන්නව.
    මට ඕන වුනේ සංවිධාන හදන එකවත්, සංවිධාන කඩන එකවත් නොවෙයි..බෙදිල තියෙන සංවිධාන වල ප්‍රතිවිරෝධතා අවම කරගෙන එකට වැඩකරන්නෙ කොහොමද කියල බලන එක.ඒ සදහා උත්සාහ කරන එක.

    නමුත් මේ සියලු දෙනා කරන මේ වැඩ වලින් වෙන්නෙ තවත් අර්බුද වර්ධනය වෙන එක විතරයි.ඒ නිසා මම එවැනි ක්‍රියා මාර්ග වලට හවුල් නොවෙන බවත්, හවුල් කරනොගන්නා ලෙසත් ආදරෙන් හැමගෙන් ඉල්ලා සිටිනව.
    මම..සමන් වග ආරච්චි

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන කතා කළා ලසන්ත රුහුණගේ සමඟ. හෙට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා ඔහු කතා කරාවි... මෙතනින් එහාට මම කතා නොකරන්නේ මම නියෝජනය කරන කණ්ඩායමට මෙය ගැටලුවක් විය හැක නිසා....

      මේ කතා නැතිව ඔබෙන් මම ඉල්ලන්නේ කරුණාකරලා ඔබේ අදහස කියන්න ජනමාධ්‍ය ඇමතිවරයා වෘ්ත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ දේපල වලට ඇඟිලි ගැසීම පිළිබඳව ඔබේ අදහස කියන්න...
      අනිත් එක මට ප්‍රශ්ණයක් සමන් වගආරච්චි මහත්මයා ගොඩගන්න උත්සාහ කරන පත්තර වල මේ සම්බන්ධයෙන් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිල නිවේදනය පළ වුණාද කියන එක? මමනම් දැක්කේ නැහැ.. පළවුණානම් ජනමාධ්‍ය ඇමතිවරයාගේ ඇඟලි ගැසීම කියැවෙන ප්‍රවෘත්තියට ලැබුණු වැදගත්කම නොලැබුණේ ඇයි?

      Delete