Wednesday, January 20, 2016

මාධ්‍යයට බණ කියන මහින්ද!! මේ කළු ජනවාරියයි!!

 එම්කේඩීඑස් ගුණවර්ධනගේ මළගෙදරදී මහින්ද මහත්තයා මාධ්‍ය රස්සාව කරන හැටි උගන්වන ආකාරය අපි දැක්කෙමු. එම සිදුවීමේදී නම් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්ණය පිස්සු ප්‍රශ්ණයක් යැයි මුලින් කිව යුතුය. කොහොම වුණත් එ් සිදුවීම එක්ක මහින්ද හා මාධ්‍ය ගැන කලින් ලියන්නට පටන්ගෙන මඟ නැවතුණු පෝස්ට් එකක් යළි අතට හසුවිය. එහි එක් ඡේදයක් පමණක් ලියා තිබුණි.

මහින්ද මහත්තය මීට කලින් බොහොම වෙනස් කෙනෙක්... මාධ්‍ය එක්ක බොහොම ළඟින් හිටියා.. ඒ කාලේ ඉතින් අපට කලින් පරම්පරාවේ මාධ්‍ය අයියලා කැබිනට් ගොසිප් එකක් කාරිය දැනගන්න කතා කළේ ඒ උන්නැහේට තමයි.. ආණ්ඩුවේ කුණු ගොඩවල් මීඩියා වල කනේ තියන්න රුසියෙක් මහින්ද. අනික දැන් රට බෙදනවැයි කියමින් බෙරිහන් දුන්නට ඒ කාලේ බලය බෙදීම වෙනුවෙන් කතා කළ කෙනෙක් තමයි මහින්ද මහත්තයා. ( බලය බෙදීම සහ රට බෙදීම කියන්නේ එකක් නොව දෙකකි. බලය නොබෙදීම කියන්නේ නම් රට බෙදීමට මාර්ගයක් විය හැකිය.)


ඔහුව සමරන මාධ්‍ය සගයන්
මහින්ද මහත්තයා බලයේ හිටපු කාලයේ මාධ්‍ය සමඟ ගණුදෙනු කළ විදිය ගැන මෙහෙම කතා කර බැරිය. ලසන්ත වික්‍රමතුංගලාගේ, ප්‍රගීත් එක්නැලිගොඩලාගේ, පෝද්දල ජයන්තලාගේ ලේ වලින් ඒවා ලියා ඇත. වෙඩිවර්ධනලා, සනත් බාලසූරියලා, රෝහිත භාෂනලා, අතුල විතානගේලා වැනි පිටුවහල් වූ අයත් ලසන්ත රුහුණගේ වැනි තර්ජන මැද්දේ ජීවිතය අනතුරේ තබාගෙන පොළොවේ සිට සටන් කළ අයත් ඒ කාලයේ මර්ධනය ගැන පිටුගණන් කියනු ඇත. මහින්දගෙන් මචං කියා කැබිනට් තොරතුරු ඉල්ලූ අපට පෙර පරම්පරාවම ඔහු අතට බලය නම් අවිය ආ පසු හැසිරුණු විදියත් කියනු ඇත.


සන්ධ්‍යා එක්නැළිගොඩ සහෝදරිය

අපටත් වඩා මහින්දගේ මාධ්‍ය හිතවත්කම ගැන හොඳින් දන්නේ සහෝදර දෙමළ මාධ්‍යවේදීන් ය. අද අප සමඟ නිදහසේ
කතා කරන යාපනය මාධ්‍ය සමාජයේ සහෝදරවරුන් මහින්ද ආණ්ඩුවේ එකල කෙරුවාවන් ගැන අපට කියන්නේ ය. උදයන් පුවත්පතේ බිත්ති මෙන්ම එහි ගිනිගත් මුද්‍රණාලයද අතීතය ගැන බොහෝ දේවල් කියන්නේ ය.


ගිනිගන්නා උදයන් මුද්‍රණ යන්ත්‍රයක්

ඕකේම අනිත් පැත්තත් ඇත. මහින්ද මාධ්‍යට කොතරම් ලෙන්ගතුද කියන්නට පිරිසකුත් සොයාගත නොහැකි නොවේ. ඒ අයගේ ආත්මය කොහේදැයි සාමාන්‍ය සමාජයටත් වඩා හොඳින් මහින්ද සමයේ සිදුවුණු දේවල් දුටු අපි නොදනිමු. එහෙත් මහින්ද නිසාම තම ජීවිත ගොඩදමාගත්තවුන් සිටිති. ඔවුන් මහින්දට ගරු කරනු ඇත. නම් නොකියමි.

කොහොම වුණත් මේ කළු ජනවාරියයි. මාධ්‍යවේදීන් වන අපට මේ කළු පැහැයෙන් පිරුණු මාසයකි. අපට ඇත්ත කතා කරන්නට තිබුණු අයිතිය අවියෙන් දේශපාලන බලයෙන් මර්ධනය කිරීමට එරෙහි වන්නට අපි යොදාගත් මාසයයි. මේ මාසය වෙනුවෙන් අසාධාරණයට ලක්වූ මාධ්‍යවේදීන් ගැන යුක්තිය ඉටු කරන්නට කොමිසමක් පත් කරන්නැයි මාධ්‍යවේදීන් ලෙස අපි ඉල්ලා සිටින්නෙමු. ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යෙවේදීන්ගේ සංගමය විසින් ඒ ඉල්ලීම ඉදිරිපත් කරමින් බැනරයක් අත්සන් කිරීම ජනවාරි 26 වැනිදා පවත්වන්නට නියමිත ය.


මහින්ද ගැන බරපතලම සහ වැඩිපුරම හෙළිදරව් කළ ගවේෂනාත්මක මාධ්‍යවේදියා වෘත්තීය ජනමාධ්‍යෙවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ. මා හිතන ආකාරයට මහින්ද වැඩියෙන්ම බියවුණු මාධ්‍යවේදියා ඔහු.
මාධ්‍ය වලට ගැහීම මහින්ද පටන්ගත් දෙයක් නොවේ. එය මහින්දගෙන් අවසාන විශ්වාස කරන්නට ද අපි අඳබාලයෝ නොවෙමු. මොන චණ්ඩි දේශපාලඥයා වුණත් මාධ්‍යයට බය වෙති. අනෙක සෝෂල් මීඩියා නොව මොකක් ආවත් ඒ හැමෝටම ෂෙයාර් කරන්නට තර්ක කරන්නට බය නැතිව කතාකර ආණ්ඩු පෙරලන්නට තොරතුරු දෙන්නේ මාධ්‍යවේදීන් විසින් ය. සෝෂල් මීඩියා වල එඩිටර්ස්ලා හෝ ආයතන හිමිකාරයන් නැත. ෆේක් වලින් කතා කළ හැකිය. එහෙත් මාද්‍යවේදියා පොළොවේ හිඳිමින් අනන්‍යතාවය සමඟ තර්ජන මැද්දේ හෙළිදරව් කළ යුතුය. ලංකාවේ මාධ්‍ය අමු ම අමු විකාරයක් බව දනිමි. එහෙත් සිදුවුණ වෙනස්කම් වල ගෞරවය මාධ්‍යවේදීන්ට යා යුතු බව කිව යුතු ය.


එක් පරපුරකට පසු තවත් පරපුරක්. ලංකාදීප මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ හිංසනයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් තරුණ මාධ්‍යවේදීන් පිරිසක් සංවිධානය කළ ඉටිපන්දම් දැල්වීමේ අවස්ථාවේදී
මහින්ද කී කතාවට ආ යුතුය. මහින්ද කීවේ මළගෙවල් මඟුල් ගෙවල් දැනගෙන වැඩකරන්න කියා ය. ඇත්තටම මම එතැන හිටියානම් අහන්නේ මහත්තයෝ ඔයත් පන්සලයි වේදිකාවයි දැනගෙන වැඩකරානම් ලැට් එකට ගියත් මාධ්‍ය පස්සෙන් එන්නෙ නැහැ කියා ය. ලොක්කෝ මහින්ද යන හැම ලබ්බකටම රිපෝටර්ලා යවන්නේ ඔහු මාධ්‍ය අල්ලාගෙන කියන දේශපාලන කෑලි මිස් කරන්නට බැරි නිසා ය. මහින්ද පරාද වීමෙන් පසු මාධ්‍ය සමඟ හදාගත් අළුත් මාදිලියේ සම්බන්ධය එයයි. තැනින් තැන දේශපාලන කමෙන්ට් දීමයි.

ජනවාරි අට පැරදී ගෙදරට වී සිටි මහින්ද කරළියට ආවේ ද මාධ්‍යවේදියෙක් නිසා බව මේ වෙලාවේ කිව යුතු ය. ඒ සංඛ විදානගමගේ ප්‍රදර්ශනය විවෘත කරන්නට ඔහුගේ ආරාධනය මත මහින්ද පැමිණීම නිසා ය. පළවෙනි වතාවට මාධ්‍යයට කමෙන්ටුවක් දී මටත් මීඩියා වල ඉඩක් දියන් යැයි මහින්ද ඉඟි පෑවේ එදා ය.

කළු ජනවාරිය අවසාන වෙමින් තිබේ. මහින්දට ලැබෙන මාධ්‍ය ඉඩ අඩුවෙමින් තිබේ. මහින්දව වැනූ ලලිත් ද සිල්වාලා දැන් මෛත්‍රීපාලව ලෙනින්ට සමාන කර වැනීමේ කොන්ත්‍රාත්තුවක් බාරගෙන ඇත. මහින්දගේ කාලයේ ගොඩ ගිය මාධ්‍ය වේදීන් යැයි හඳුන්වාගත් බිස්නස් කාරයන් අළුත් ආණ්ඩුවට ළංවෙමින් තිබේ. මහින්දට එරෙහිව ගිය ඇතැමුන්ද ලොකු තනතුරු අරගෙන අළුත් ආණ්ඩුව සමඟ සෙට් වෙමින් තිබේ.

අළුත් ආණ්ඩුව තවමත් අපව මර්ධනයට අවි අතට ගෙන නැත. එහෙත් වෙනාකාරයේ සැලසුම් හදා ඇත. ඒවා සංකීර්ණය. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන තරම් සංකීර්ණය.

මහින්දලාව නිරුවත් කළ ලසන්ත රුහුණගේලා ඉදිරියට එන අය මොනවා කළත් ඔවුන්වද නිරුවත් කරනු ඇත. අපද ඔවුන් පසුපස යන්නට උත්සාහ කරන්නෙමු. කළු ජනවාරි ඉදිරියේද එනු ඇත. එක පෑනක හෝ මුවහත සැමදා තියෙනු ඇත.


2015 මාර්තු 13 සංඛ විදානගමෙගේ ඡායාරූප ප්‍රදර්ශනයට එක්වෙමින් 

22 comments:

  1. // මාධ්‍යවේදීන්ටත් නොතේරෙන තරම් සංකීර්ණය. //

    බත් පැකට් එකයි රුපියල් දාහයි වගේ?

    ReplyDelete
  2. මිනිසෙකු එකම එක යහපත් ක්‍රියාවක් හෝ කර ඇති නම්, එය අගය කිරීම වරදක් නොවේ. වරෙක ඔබ ප්‍රභාකරන්වත් අගය කල බව මතකයි.

    ReplyDelete
    Replies
    1. යහපත් අරමුණකින් කළානම් අගය කරනවා

      Delete
  3. ඔබ කියා ඇති දේ සමහර දේ ඇත්තයි. ඔය නම් ලැයිස්තුවෙ ඉන්න සමහරුනම් රට ගියෙ වරප්‍රසාද බලාගෙන නේද. ඒ අය තවම ඇවිත් නෑනෙ. මහින්ද තවම ඇතුලට අරගෙන නැති නිසා එන්න බයයි කියන්නෙ බයිලනෙ.

    උදයන් පුවත්පත නම් සීමාව ඉක්මවා යන තරම් ගවේශන ශීලියි තමා. එල් ටී ටී ඊ එකෙන් ප්‍රහාරයක් එල්ල කරල අත ගන්නටත් පෙර ඔක්කොම විස්තර උදයන් එකේ.
    මේ රටේ යුද්ධයක් තිබුන කියන එකත් අමතක කරන්න එපා. ඔබ සාමාන්‍ය කාලයක මාධ්‍ය භාවිතය යුද්ධ කාලෙටත් ගලපලා. දෙවන ලෝක යුද්දෙ කාලෙ බ්‍රිතාන්‍යයෙත් සීමා කිරීම් තිබුනා.
    මාධ්‍යවේදීනුත් වගකීමෙන් ක්‍රියා කරන්න ඕන.සේයා සිද්ධියෙදි මාධ්‍ය හැසිරුන හැටි ඔබ දුටුවනෙ. අර සිසුවයි එක් දරු පියාවයි සමාජය ඉදිරියෙ වැරදිකාරයො කලා.ඩී එන් ඒ සාක්ෂි නොතිබුනානම් අද මොකද වෙන්නෙ.
    මහින්දට එරෙහිව භාවිතා කලෙත් ඔය සම්ප්‍රදායමයි.
    රජයක් මාධ්‍යැවේදීන්ගෙ සිරකරුවන් විය යුතුත් නෑ. බොහොමයක් සමහර මාධ්‍යකරුවන් එන් ජී ඕ මත යැපෙන බවත් ඔබ දන්න දෙයක්නෙ.

    කෙසේ නමුත් මාධ්‍යකරුව සුවිශේෂ පුද්ගලයෙක්. ඔහුට ඕනම ලොක්කෙකුට බං බොලන් කියල කතා කරන්න පුලුවන්. සාමාන්‍ය හඩක් නැති මිනිහගෙ හඩ මාධ්‍යවේදිය තමා. අන්න ඒ නිසයි වගකීමෙන් යුතු මාධ්‍ය කලාවක් ඕන වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. //උදයන් පුවත්පත නම් සීමාව ඉක්මවා යන තරම් ගවේශන ශීලියි තමා. එල් ටී ටී ඊ එකෙන් ප්‍රහාරයක් එල්ල කරල අත ගන්නටත් පෙර ඔක්කොම විස්තර උදයන් එකේ.// ඒ නිසා උදයන් එකට ගහපු එක හරි???
      //මේ රටේ යුද්ධයක් තිබුන කියන එකත් අමතක කරන්න එපා.// යුද්ධයක් තියෙන නිසා ලසන්තව මරන්න ප්‍රගීත්ව උස්සන්න පුළුවන්??
      //මහින්දට එරෙහිව භාවිතා කලෙත් ඔය සම්ප්‍රදායමයි.// ලසන්ත හරි ප්‍රගීත් හරි සදාචාර විරෝධී මාධ්‍ය භාවිතාවක් ගෙනිච්චා කියලා ඔප්පු කරන්න පුළුවන් නම්..
      //රජයක් මාධ්‍යැවේදීන්ගෙ සිරකරුවන් විය යුතුත් නෑ. බොහොමයක් සමහර මාධ්‍යකරුවන් එන් ජී ඕ මත යැපෙන බවත් ඔබ දන්න දෙයක්නෙ.// ලංකාවේ නං වැඩියෙන් ඉන්නේ ආණ්ඩුවෙන් යැපෙන අය.
      //සමහරුනම් රට ගියෙ වරප්‍රසාද බලාගෙන නේද.// සමහරුනංං කියන කෑල්ල එක්ක එකඟයි.. ඒත් එහෙම නොවෙන අය අතේ ඇඟිලි ගාණට වැඩියි.. භාෂණ, පෝද්දල, සනත්, අතුල, ශාන්ත වගේ අය ගියේ ඇත්තටම තර්ජන නිසා..
      මේ අය අතරින් ඇතැම් අය රට ඉඳන් බොහොම දුක් විඳිනවා... ඇතැම් අය විඳින වේදනාව අපි පෞද්ගලිකවම දන්නවා

      Delete
    2. උදයන් පුවත්පතට පහරදීම වැරදියි.තාරකීව මරපු එකත් වැරදියි. විනාශ කලා මැරුව කියා රජයට ලැබුන දෙයක් නෑ.
      යුද්දයක් තිබුන කියල ලසන්තල මරන්න ප්‍රගීත්ල උස්සන්න බෑ. මම හිතන්නෙ රජුගෙ සිරුරෙ වහපු මැස්සට කෙටුව වගෙ මහ මෝඩ වදුරෙක් ඉන්න ඇති. රජයට පක්ෂව සිටි උපාලි තෙන්නකෝන්ටත් ගැහුවනෙ.
      ලංකාවේ නං වැඩියෙන් ඉන්නේ ආණ්ඩුවෙන් යැපෙන අය.// එකඟයි.
      පෝද්දල ගවේශනශීලී මාධ්‍යවේදියෙක්.ඔහු කල හෙලිදරවුකිරීම් අතිසුවිශේෂ වුනා. භාශනත් එහෙමද.ඔහු දෙමල කාන්තාවක් විවාහ කරගෙන ඔරිජිනල් දෙමලෙකුටත් වඩා දෙමල වෙලා ඩයස්පෝරාවෙ අන්තවාදී පාර්ශ්වය එක්ක ඉන්නව නේද. සමහරවිට තම දෙමලකම වැඩියෙන් උලුප්පා දක්වන්න එහෙම කරනවත් ඇති.
      තමන් ජාතිවාදී නොවන බව පෙන්වීමට නලලෙ පොට්ටු තිබ්බ දෙමල ක්‍රමයට සාරි ඇන්ද මීඩියා අයත් ඉන්නව නේද

      Delete
    3. ඇයි දෙමළ අය වෙනුවෙන් කතා කළාම මාද්‍යවේදියෝ අපරාධකාරයෝ වෙනවද??

      Delete
  4. අද කරපු දේට රෙස්ක්පෙට්... මිනිහටත් තේරෙනවා ඇති ඔක්කොම එයාව අන්දනවා කියලා..

    ඉදිරිය මීට භයානක විය හැකියි...

    ReplyDelete
  5. මේ සිදුවීම ගැන නම් දන්නේ නැහැ මම , නමුත් රටක ජනමාධ්‍යයට කළ හැකි දේ ඉහළයි , නිකම්ම පත්තර කාරයෙක් නොව රට කරවන තැන , රට කරවන්නන් සහ රට කරවන මග පෙන්වන්නට නැත්නම් පෙරලන්නට හැකියාව ඇති කොටසක් වෘත්තීය මාධ්‍යෙව්දීන් කියන්නේ නම් , නමුත් අපේ රටේ ඇත්තේ “ වැල යන අතට මැස්ස ගසමින්“ තමන් ලොක්කා හෝ තමනගේ චැනලයේ රේටිනං වැඩි කරගන්නා මාධ්‍යයක්ද කියන සැකය මතුවෙනවා .
    මේ මගේ අදහස විතරයි , මම මේ ගැන ගැඹූරට කතා කරන්නට තරම් ප්‍රවීණයෙන් නොවෙයි.
    ස්තුතිය ඔබට

    ReplyDelete
  6. මේකත් ඇත්ත. ලසන්ත ගේ මිනිමරුඔ තවම නිදැල්ලේ.

    ReplyDelete
  7. කාලෙකින් මාධ්‍යවේදීන් ගෙන කතා කරනවා ඉස්සර නම් මෙහෙම නිදහසේ කතා කරන්න ඉඩ ලැබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. කතා කරන අය ඉස්සරත් කතා කළා.. දැනුත් කතා කරනවා...
      සමහර අය අළුතින් කතා කරන්න පටන් අරගෙනත් තියෙනවා

      Delete
  8. මේ වගේ ජනමාධ්‍ය වේදින් අතරේ අර වගේ ඕන නැති දේවල් අහන අයත් ඉන්න එකයි අවුල.

    ReplyDelete
    Replies
    1. ජනමාධ්‍ය ප්‍රතිසංවිධානය කරන්න ඕනෙමයි

      Delete
  9. යස වැඩේ මාධ්‍ය අයියලට. ඕන්නැති ලබ්බක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම අදහස් කලේ හැමෝම නෙමේ. හපන්න දෙයක් නැතිව හොය හොයා යන අයියලට.

      Delete
  10. හැබැයි මේ ලිපියේ එක තැනක කියනවා සමාජ ජාල වලටත් නිව්ස් දුන්නේ මාධ්‍යවේදියෝ කියල. ඒක එච්චරම හරි නැහැ. බට්ටියගේ සිද්ධියේ පටන් හුඟක් එවැනි සිද්ධීන් සමාජ ජාල අතරේ මුලින් ගියා මාධ්‍ය කරු පොළොවේ අමාරු කාර්යයක් කරන බව ඇත්ත. නමුත් සමාජ ජාලා හා බ්ලොග් අඩවි හෙම තව දුරටත් අදාල නැහැ කියන්න බැහැ . රජය ට විරුද්ධ වීමේ දිද මාධ්‍ය වලට වඩා නිර්භීත වුනේ බ්ලොග්ස් සහ සමාජ ජාල. නිර්නාමිකව ලියන්න පුළුවන් නිසා වෙන්න පුළුවන් . නමුත් ගිය ආණ්ඩුවෙන් නිර්නාමිකව ලිව්ව සමහරුන්ව පවා සොයා ගත්ත. ඔබ වැඩ කරන රාවය පුවත් පතත් මහින්දට ආරාධනා කලා නේද සමරු උත්සවයකට.

    ReplyDelete
  11. අර මාධ්‍ය වේදියාට ආපහු අහන්න තිබ්බෙ " ඉතිං ඔහේ පන්සල් ගානෙ දේශපාලනය කතා කරන එකේ මලගෙදරකදි කතාකලාම මොකද?" කියල

    ReplyDelete
  12. "එක පැනක හො මුවහත සැමදා තිබෙනු ඇත" දිවි දෙවෙනි කොට පැන හසුරන මාධ්‍ය ගවේශකයන් එදාත් හිටියා අදත් ඉන්නවා හෙටත් බිහි වෙයි,ඔවුන්ගේ පැන් අනාගතයේදි ඉතිහාසයට සාක්ෂි සපයනු ඇත,ඔවුන් ඉදිරියටත් එකාධිපතියන් හා සටන් වදිනු ඇත,

    ReplyDelete
  13. "එක පැනක හො මුවහත සැමදා තිබෙනු ඇත" දිවි දෙවෙනි කොට පැන හසුරන මාධ්‍ය ගවේශකයන් එදාත් හිටියා අදත් ඉන්නවා හෙටත් බිහි වෙයි,ඔවුන්ගේ පැන් අනාගතයේදි ඉතිහාසයට සාක්ෂි සපයනු ඇත,ඔවුන් ඉදිරියටත් එකාධිපතියන් හා සටන් වදිනු ඇත,

    ReplyDelete
  14. ඔතන මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමු කවුරුහරි දේශපාලන බලවතෙක් ඔයාව මැරුවා කියලා. මම වගේ සිංහලයෙක්ට ඒ ගැන තියෙන අමාරුව මොකක්ද? ලංකාවේ වාමාංශිකයන්ටත් මේ තත්වය අදාලයි. සිංහල නිර්ධනයින්ට මෙයාලා අපි වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ලෙස දැනෙන්නේ නෑ. ඒ නිසාම ඝාතකයාට මාර වාසියි.
    ඉහත සඳහන්කල මාධ්‍ය වේදීන් මර්ධනය ගැන සිද්ධි වලට විරුද්ධ වෙන්නෙත් එකම ගැන්සියක් එයාලා සමාජය වෙනුවෙන් සිටින්නේ නෑ නමුත් සමාජය එයාලා වෙනුවෙන් සිටිය යුතුයැයි ඔවුන් හිතාගෙන ඉන්නවා.
    මුලින් කිව්ව උපමාව වැරදියට තේරුම් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. //සිංහල නිර්ධනයින්ට මෙයාලා අපි වෙනුවෙන් පෙනී ඉන්න පිරිසක් විදියට දැනෙන්නේ නෑ.... //
      කතා කරල වැඩක් තියෙනවද??

      Delete