Sunday, December 04, 2016

ගෝඨා

‘ගෝඨා ඉල්ලා අස්වෙයි‘
 
දෙසැම්බර් හතරවැනිදා රාත්‍රී හතට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී ගෝඨයිම්බර කෝලමේ අවසාන දර්ශණයට සූදානම් වෙද්දී නාට්‍යය නිෂ්පාදක කණ්ඩායම මුලින්ම සිය ප්‍රචාරණයට යෙදුවේ ඉහත පාඨයයි.

ඩෙනිස් පෙරේරාගේ ගෝඨයිම්බර කෝලම සිය අවසාන දර්ශනයට සූදානම් වෙන්නේ දර්ශනවාර දහයකදී නාට්‍යයකට නිර්මාණය කළහැකි උපරිම සංවාදයකටත් එහා සංවාදයක් ඇති කරමිනි. එක් පැත්තකින් නිෂ්පාදන කණ්ඩායමේ සාර්ථක ප්‍රචාරණ උපක්‍රම මෙන්ම නිර්මාණයේ සුවිශේෂත්වයත් ඒ සංවාදයට හේතුවිය.


සාහිත්‍ය විචාරකයන් ලෙස අවධානය දිනාගත් සියළුදෙනාම පාහේ ගෝඨයිම්බර කෝලම පිළිබඳව විචාර ලියූහ. විචාරකයන් පමණක් නොව සාමාන්‍ය ප්‍රේක්ෂකයාද ගෝඨයිම්බර කෝලම වර්ණනා කළේය.

ලියුම්කරු ගෝඨයිම්බර කෝළම නැරඹුවේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේදීය. නාට්‍යය නරඹන්නට නොව පොත් ගන්නට පැමිණි බහුතරයක් ප්‍රේක්ෂකාගාරය බවට පත්ව තිබුණි. ඔවුන් නාට්‍යය උපරිමයෙන් විඳි ආකාරය දකින්නට ලැබුණි.

ගෝඨයිම්බර කෝලමේ පළමුවැනි සුවිශේෂත්වය ඩෙනිස් පෙරේරා විසින් මන්දගාමී සුමට උපක්‍රම වෙනුවට රළු විහිළු සහ දරුණු වාග් උපක්‍රම යොදාගැනීමයි. අනෙක් පැත්තෙන් ගෝඨයිම්බර කෝලම කෝලම් ආකෘතියේ එන රවුමට පුටු තැබූ ප්‍රාථමික නාට්‍ය ප්‍රේක්ෂකාගාර ආකෘතියට ගෙන ඒම නිසා එය ප්‍රේක්ෂකාගාරයට අමතක නොවෙන අත්දැකීමක් බවට පත්ව ඇත. ඒ නිසාම විචාරකයන් ලීවේ මෙය කලා නිර්මාණයකට වඩා අත්දැකීමක් හෙවත් එක්ස්පීරියන්ස් එකක් බවයි. ගෝඨයිම්බර කෝලමේ පිටපත මතුපිටින් දැඩි ස්ත්‍රී විරෝධී ස්වභාවයක් පෙන්වීම මෙන්ම පිරිමින් පමණක් රංගනයේ යෙදීම නිසා එහි පිටපතත් ආන්දෝලනාත්මක විය. එපමණක් නොව එහි ඇති දෘෂ්ඨියත් විචාරාක්ෂියට හසුවිය. එක් පැත්තකින් මිත්‍යාවට එරෙහි ප්‍රවේශයකින්ද දේශපාලනික ප්‍රවේශයකින්ද එය විචාරයට ලක් කෙරිණි. ගෝඨයිම්බර කෝලමේ දේශපාලන සංස්කෘතිය, මාධ්‍ය සහ රණවිරු සංස්කෘතිය අතිසරල දෙබස් අතරින් විවේචනයට ලක්කර තිබුණි.

අනෙක් අතට ප්‍රාථමික ප්‍රේක්ෂකාගාර ආකෘතියෙන් ප්‍රොසීනියම් වේදිකාව මතට ගැමි නාට්‍යය ආකෘතිය ගෙන ආ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රව කණපිට හැරවීමක් ලෙස ගැමි නාටකයේ ආකෘතියට නාට්‍යය ගෙන ඒම විචාරකයන් හැඳින්වීය.

ගෝඨයිම්බර කෝලම තවත් පැත්තකින් ආකර්ශණීය වූයේ එහි ප්‍රේක්ෂකයාගේ ස්වභාවය නිසාය. නොමිලේ පෙන්වූ අවස්ථා හැරුණුකොට ටිකට්පත් මිලදී ගෙන එය නරඹන්නට පැමිණි අය අතරින් බහුතරය යම් ඉහළ මුදලක ටිකට්පතක් හෝ කිහිපයක් මිලදී ගැනීමේ ශක්තියක් ඇති යම් දුරකට ඉහළ පන්තියේ යැයි කිවහැකි පිරිසක් වීමයි. ලංකාවේ වේදිකා නාට්‍යවලට මෑත කාලයේ හුරුවී ඇත්තේ පීඩිත පන්තිය නොව නාට්‍යයක් නරඹන්නට ආර්ථික හැකියාවක් ඇති උදවියයි. 

සාම්ප්‍රදායික ප්‍රොසීනියම් වේදිකාවේ සිට නරඹන නාට්‍යයක් වෙනුවට ප්‍රාථමික ප්‍රේක්ෂකාගාරයේ සිට තමන් ඉදිරියේ ඉඳගෙන මළපහ කොට සිය අසූචි දෑතින් ගෙන ප්‍රේක්ෂකාගාරයට අල්ලාගන්නැයි දෙන අන්දමේ නාට්‍යයක් නරඹන්නට මධ්‍යම පාන්තික ප්‍රේක්ෂකාගාරය ප්‍රියකිරීම ආකර්ශණීය කාරණයක් විය. කොට ගවුමක් ඇඳසිටින කාන්තාවකට  බෝක්කුව වහගන්නැයි කියන, දුම්මල ගසන අන්දමේ නාට්‍යයක් මෙවන් ප්‍රේක්ෂකාගාරයක් විසින් පිළිගනු ලැබීම ආකර්ශණීය කරුණක් විය.

ප්‍රාථමික ප්‍රේක්ෂකාගාර ආකෘතිය අමුතු රොකට් විජ්ජාවක් නොවේ. සම්මත ප්‍රොසීනියම් වේදිකාවෙන් පිට නාට්‍යය පෙන්වන අවස්ථා ඕනෑතරම් ඇත.  එහෙත් පිළිගත් නාට්‍යකරුවන් මෙවන් වේදිකාවක් වෙනුවෙන් නාට්‍යයක් නිර්මාණය කරන්නට කැමැත්තක් නොදැක්වීය. එවන් යම් අත්හදා බැලීම් තිබුණා වියහැකි වුණත් මේ තරම් ඒ උත්සාහයන් සාර්ථක නොවීය. 

ගෝඨයිම්බර කෝලමේ දරුණු සහ රළු දෙබස් තිබීමත් ආකර්ශණීය කරුණකි. අශ්ලීල සංස්කෘතියේ වචන කලාව තුලට ගෙනඒමට හැකිවීම සුවිශේෂීය. විශේෂයෙන් ලංකාවේ ජනප්‍රිය නිර්මාණ අතර මෙවන් අකෘතඥ රළු නිර්මාණ බිහිවන්නේ කලාතුරකිනි. සමාජය කෙතරම් අශ්ලීලද යන්න අමතක කොට ශිෂ්ඨ සංස්කෘතියේ සළුපිළිවලින් කලාව වසා තැබීම වෙනුවට ගෝඨයිම්බර කෝලම අසංස්කෘතක සහ අශ්ලීල හැඩයක් ගැනීම දෙසැම්බර් හතරවැනිදායින් පසු නිර්මාණයක් කරන්නෙකුගේ අවධානයට යොමුවිය යුතුය.

වක්‍රෝක්ති සහ කුණුහරුප අතීත කෝලමේ පවා තිබුණු ලක්ෂණ වේ. කෝලම් වලින් පසුව අශ්ලීල වචන ලංකාවේ නිර්මාණ ඇතුලේ තිබුණේ අදක ඊයේක සිට නොවේ. එහෙත් මේ තරම් නිර්මාණාත්මකව ඒවා එළියට ගෙන එන්නට හැකිවුණේ ගෝඨයිම්බර කෝලමටයි. නිර්මාණාත්මක කලාවට අශ්ලීල වචන ඇලජික් වී තිබුණි. ඒ වෙනුවට ජනප්‍රිය බාල නිර්මාණවල අශ්ලීල වචන ඕනෑතරම් තිබුණි.

ගෝඨයිම්බර කෝලමෙන් පසු නිර්මාණය වන නිර්මාණයක් කල්පනා කළයුත්තේ මේ රළු අශ්ලීල සහ වටේට පුටු තබා බලන නාට්‍ය ආකෘතිය පීඩිතයාගේ ප්‍රේක්ෂකාගාරයට යන්නේ කෙසේද යන්නයි. නාට්‍යවලට හුරුපුරුදු ප්‍රේක්ෂකාගාරයක් වෙනුවට නාට්‍යය නුපුරුදු ලාංකිකයන් වෙත මේ නාට්‍යය ආකෘතිය යා යුතුය.

ගමෙන් ගමට ගොස් මේ ආකෘතියේ නාට්‍යය පෙන්විය යුතුය. ඈත ගම්මානවලත් කොළඹ මහල් නිවාස අතරේත් වතු ඇතුලේත් මෙවන් නාට්‍යය ගමන්කළ යුතුය. පීඩිත ප්‍රේක්ෂකාගාරය ඉලක්ක කළයුතුය. විචාරකයන්ට එවන් ප්‍රේක්ෂකාගරයක් මැද්දේ සිට නාට්‍යය නරඹන්නට ඉඩදිය යුතුය.

දිනපතා මෙගා ටෙලිනාට්‍යය බලන මිනිසුන් අතරේ මේ ආකෘතියට දිගු ජීවිතකාලයක් තිබිය හැකිය. එකම සංකල්ප ඒ මේ අත හරවමින් කරන බාල නිර්මාණ රූපවාහිනියෙන් නරඹා හෙම්බත්වී සිටින ප්‍රේක්ෂක ප්‍රජාවක් හොඳ නිර්මාණ රසවිඳීමේ පිපාසාවකින් පසුවන්නේය. මහන්සිවී කළ අළුත් නිර්මාණයක් රසවිඳින්නට ඔවුන් ප්‍රියකරනු ඇත. ගෝඨයිම්බර කෝලම වැනි සජීවී අත්දැකීමකට ඔවුන් ආදරය කරනු ඇත. එවැන්නක් අදහන්නට ඔවුන් පෙළඹෙනු ඇත. ඩෙනිස් පෙරේරාටත් ගෝඨයිම්බර කෝලමේ ආකෘතිය, තේමාව, භාෂාවට ආදරය කරන නිර්මාණකරුවන්ටත් කල්පනා කරන්නට සිදුවන්නේ මෙයයි. සැබෑවටම සරච්චන්ද්‍ර කණපිට හැරවීමක් වන්නේ ප්‍රොසීනියම් වේදිකාවට පැමිණෙන්නට හැකියාව ඇති ප්‍රේක්ෂකයාට නොව එසේ නොපැමිණෙන බහුතර ජනතාව අතරට එය ගියදාටයි.

No comments:

Post a Comment