Wednesday, September 20, 2017

හරි අපි සයිටම් වහමු! ජාතික ගැටලුව ගැන කතාකරමුද?


දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළුව වාමාංශික අදහස් දරන විශාල පිරිසක් මාලඹේ සයිටම් විශ්වවිද්‍යාලය වසාදැමීමේ දැවැන්ත අරගලයක යෙදෙන්නේ සයිටම් වසාදැමූ පසුව සමාජවාදය බිහිවෙන්නට නියමිත බව විශ්වාස කරන්නාක් මෙනි.



සයිටම් විරෝධී අරගලයේ යෙදෙන තරුණයෝ හෙට සමාජවාදය උදාවේයැයි සිතති. සමහරුන් නම් අරගලයට එන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන් බලහත්කාරයෙන් රැගෙන එන නිසාය.


උතුරට තම ප්‍රශ්ණවලට විසඳුම් සොයා යන්නට වෙන්නේ දෙවියන් ළඟටය. දකුණේ ‘ප්‍රගතිශිලීන්ට‘ උතුරට හෙණ ගැහුවත් කමක් නැත.


මේ සටහන ලියන්නේ සයිටම් අරගලයට ඔච්චම් කරන්නට නොවේ. සයිටම් අරගලය ගැන අසන්නට දාහක් ප්‍රශ්ණ අපට ඇත. සයිටම් වැසීමෙන් පසුව නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වෙන්නේ කෙසේදැයි අප ඇසුවත් එය ඔච්චම් කිරීමක්යැයි ඔවුන් සිතනු ඇත. අනෙක් අතට අප මෙසේ කී පසුව සයිටම් විරෝධින් කියනු ඇත්තේ සයිටම් වසා දැමූ පසුව සමාජවාදය බිහිනොවන බව ඇත්ත වුණත් එවන් නිශ්චිත සටන්පාඨයක් වටා සටන්කාමී වාමාංශිකයන් එකතුකරගත හැකිවනු ඇති බවයි. එය වාමාංශික අරගලයක වැදගත් පියවරක් වනු ඇති බවයි.
මේ අරගලය අනාගතයේ විශාල වෙනසක් වෙනුවෙන් කරන මුල් පියවරක් නම් සයිටම් අරගලය වටා එක්වන වාමාංශික පිරිස්වලට පුළුල් සමාජ, දේශපාලන න්‍යායපත්‍රයක් තිබිය යුතුය. ඒ න්‍යායපත්‍රය ඇතුලේ විශාල දර්ශනයක් තිබිය යුතුය. ඉතින් මේ සටහනෙහි අරමුණ සයිටම් අරගලය ගැන කතාකිරීම නොව. සයිටම් අරගලය වටා එක්ව සිටින සංවිධානාත්මක කණ්ඩායමට ජාතික ගැටලුව ගැන ඇති අදහස කුමක්දැයි විමසීමය. ඉතින් මේ කතාව ආරම්භයේදීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ ඒකාබද්ධ විපක්ෂය අදාල නැති බව කිවයුතුය. ඔවුන්ට ඇති අරමුණ සියල්ලන් දන්නා නිසාය.


ඒ දෙපාර්ශ්වයම අත්හැරියද සයිටම් විරෝධී ස්ථාවරයේ විශාල පිරිසක් සිටින බව පැහැදිළිය. එපමණක් නොව ඔවුන් සමඟ මහා පිරිසක් රැගෙන ගොස් පාරවල් වසා උද්ඝෝෂණ කිරීමේ බලයක් ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයක්ද වෙයි. එවන් විශාල කණ්ඩායමක් සයිටම් විරෝධී ස්ථාවරයක් ගත් පරිදිම ජාතික ගැටලුව සම්බන්ධයෙන්ද ප්‍රගතිශීලී ස්ථාවරයක් ගෙන දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වුණොත් එය විශාල වෙනසක් ඇතිකිරීමට හේතුවනු ඇත. රටපුරා විසිරී සිටින සයිටම් විරෝධී සටනේ සිටින අය එවන් සටන්පාඨයක් වෙනුවෙන් පෙනී සිටීම වැදගත් වනු ඇත.

ජාතික ප්‍රශ්ණය ගැන කතාකළයුත්තේ මන්දැයි කෙනෙකු අසන්නට ඉඩ ඇත. මේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුම සම්බන්ධයෙන් අනාගතය තීරණය වන කාලයයි. ඉදිරි වසර තිහක හතළිහක කාලයෙහි සිදුවෙන්නට නියමිත බොහෝ දේවල්වලට පසුබිම සැකසෙනු ඇත්තේ දැන් සිදුවන දේ අනුවය. සරලව තේරුම් ගන්නට උත්සාහ කළොත් ජාතික ගැටලුවේදී දෙමළ ජනතාව ඉල්ලන්නේ බලය බෙදීමකි. ඒ වසර කිහිපයකට පෙර වෙනම රාජ්‍යයක් ඉල්ලූ දෙමළ ජනතාවමය. දැන් ඔවුන් ඉල්ලන්නේ බලයයි. ස්වයං නිර්ණය අයිතියයි. කවුරු මොනවා කිව්වත් උතුරු පළාත් සභා මහඇමති විග්නේෂ්වරන් මහතා වුව ඒ වෙනුවෙන් සාකච්ඡා මාර්ගයට එළඹීමට සූදානම්ය. එහෙත් දැන් ඇති ගැටලුව දකුණේ දෙමළ ජනතාව අතර ස්වයං නිර්ණය අයිතිය, පුළුල් බලය බෙදීම ගැන නිර්භයව කතාකරන්නට සූදානම් දේශපාලන ව්‍යාපාරයක් නොවීමයි. මේ මොහොතේ ලංකාවේ සිටින ජනවාර්ගික කොටස් විසින් තෝරාගන්නා මාවත ලංකාවේ අනාගතය දීප්තිමත් කිරීමට හෝ යළිත් සම්පූර්ණයෙන් අඳුරු කර දමන්නට හේතුවනු ඇත. සමාජවාදී අරගලය තෙක් මේ ගැටලුව පැසව පැසවා තබන්නට හැකියාවක් නැත. මේ වෙද්දී ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම, ඇතැම්විට ඊටත් වඩා වැදගත් කාරණයක් වන්නේ දේශපාලන වෙනස්කම්ය. සැබැවින්ම 2015 ජනාධිපතිවරණයේදී ප්‍රධාන පාර්ශ්ව දෙක අතර බෙදීම හටගත්තේ ආර්ථික වෙනස්කම් මත නොව දේශපාලන වෙනස්කම් මත බව තේරුම් ගත යුතුය. විශේෂයෙන් ජාතික ගැටලුවට දෙන විසඳුම මේ මොහොතේ වඩා තීරණාත්මක සාධකයක් බව පැහැදිලිය.
සයිටම් විරෝධය සමඟ ප්‍රගතිශිලී අරගලයක් කරනවායැයි පෙනෙන පෙසපෙ සහ ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායම් බලය බෙදීම හෝ ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නට සූදානම්ද. විශේෂයෙන් පෙසපෙට ඇති ස්ථාවරය කුමක්ද. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතික ගැටලුව සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරයට වඩා මහා වෙනසක් නැති බව පෙනෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතික ගැටලුව සම්බන්ධයෙන් තම මතය ලියා ඇති පොතෙහි ඇති කරුණු නිසාය. මේ පක්ෂ දෙකටම ජාතික ගැටලුව ගැන ඇත්තේ පතෝල අදහස්ය. වඩා දරුණු තත්වය වන්නේ ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂවල ක්‍රියාකාරී සාමාජිකයන්ගෙන් බොහෝදෙනා ජාතික ගැටලුව ගැන අන්තවාදි ස්ථාවරවල සිටීමයි. 

පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ පෙසපෙ සාමාජිකයන් පිරිසක් සහ පෙසපෙ සමග කටයුතු කළත් පක්ෂ සාමාජිකයන් නොවන ක්‍රියාකාරිකයන් පිරිසක් අතර ෆෙඩරල් සම්බන්ධයෙන් දීර්ඝ වාදයක් මතුව තිබුණි. එහිදී ෆෙඩරල් වලට එරෙහිව අන්ත ජාතිවාදී ස්ථාවරවල ඉඳිමින් පෙසපෙ සාමාජිකයන් අදහස් දක්වනු දකින්නට ලැබුණි. පෙසපෙ සාමාජිකයන් අතර මෙවන් ස්ථාවරයන් ඇතිවෙන්නට හේතුව ඔවුන්ගේ පක්ෂ නායකත්වය ජාතික ගැටලුව පිළිබඳ කිසිදු මතයක් ප්‍රකාශ කර නොතිබීමයි. මේ සංවාදය තැනින් තැන ඇතිවූ අපිලිවෙල හා දීර්ඝ එකක් විය. එහෙත් සංවාදයේ එක් තැනක පෙසපෙ සාමාජිකයන්ගේ ෆෙඩරල් විරෝධී අදහස්වලට පිළිතුරු දෙමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවෙක් වන නජිත් ඉන්දික විසින් මෙසේ කියා තිබුණි.

මේ මොහොතේ සාකච්ඡාවට ගැනෙන ෆෙඩරල් විසදුම පිළිබද යෝජනාව මේ අපි කව්රුවත් කළ යෝජනාවක් නෙමෙයි. ජාතික ගැටළුවක් පිළිබදව එහෙම විසදුම් අපිට පමණක් යෝජනා කරන්නත් බැහැ. ඕනෑම යෝජනාවක් මූලිකව පදනම් විය යුත්තේ ප්රශ්නයට අදාළ ජනකොට්ඨාශය තුළින් එන යෝජනා මත. දශක ගණනක අතීතයක් තියෙන, ලංකාවේ රාජ්යය විසින් සුන්නද්ධුලි කරලා දානකන් දශක තුනක් යුද්ධ කළ ඉතිහාසයක් තියෙන ප්රශ්නයක් මේක. එහෙම සමාජයක තමයි සමූල ඝාතනයකින් අවසන් කරලා අවුරුදු 8 කට පස්සෙත් මේ ෆෙඩරල් යෝජනාව එන්නේ. එන්නේ ප්රදේශයේ දෙමළ දේශපාලඥයන්ගෙන් තමයි. නැතුව පුදුකුඩියිරිප්පු වල ඇතුළේ ගමක ඉන්න වයසක අම්මා කෙනෙක් ඇවිත් පුතේ අපිට ෆෙඩරල් ඕන කියන්නේ නෑ, ඒක අපි හැමෝම දන්නවා. එහෙම දේවල් දේශපාලනේදි වෙන්නේ නෑ. ඕනෑම ප්‍රශ්නයක් අරබයා ඒක එහෙම තමයි.

නිසා පළවෙනි දේ අපි වාමාංශිකයන් විදියට මේ තත්වය ඉදිරියේ වැඩ කරන්නේ කොහොමද කියන එක. කියන්නේ දශක ගාණක් තිස්සේ ජාතික ගැටළුවක් තියෙන, වෙනුවෙන් මාරාන්තික යුද්ධයක් කළ, ජනතාව රාජ්යය විසින් සමූල ඝාතනයකට ලක්කළ තැනක් අරබයා එහෙන් ඇවිත් තියෙනවා ෆෙඩරල් විසදුමක් පිළිබද යෝජනාවක්. ඒකට අපි මොකද්ද කියන්නේ? අපි ඉන්න මතය නම් එවැනි විසදුමකින් මේ ගැටළුව විසදීමේ දිශාවට පියවරක් තියෙනවා. වගේම ජාතිවාදී පදනමින් හෝ ඔයාල කරනවා වගේ අති රැඩිකල් කොලේක ජාතිකවාදය ඔතාගෙන හෝ මෙවැනි දේකටත් විරුද්ධ වුනොත් උතුරු නැගෙනහිර සමාජය මීළගට යන්න නියමිත, තෝරගන්න නියමිත දේශපාලනය ගැන බරක් පතලක් ඇතුවද ඔයාලා ඔය කතා කරන්නේ? නැහැ. ඔයාලට ප්රශ්නය තේරෙන්නෙවත් නැහැ මම හිතන විදියට.

මේ සයිටම් විරෝධී අරගලය සමඟ සිටින සුළුතරයේ අදහසයි. බහුතරයට අදහසක් නැත. සුළුතරය තැනින් තැන මෙලෙස ගැටුණත් පෙසපෙ නායකයන් ඇතුළු අදහසක් නැති බහුතරයෙන් ස්ථාවරය විමසා තිබේද. අපට දැන් ඇති යෝජනාව සයිටම් අරගලය වෙනුවෙන් පෙනී සිටින මේ විප්ලවවාදි එකමුතුව ජාතික ගැටලුව ගැනත් ස්ථාවරයක් ගතයුතු බවයි. 

පෙසපෙ ප්‍රමුඛ කණ්ඩායම ස්වයං නිර්ණය අයිතිය සහ සන්ධීය ක්‍රමයකට බලය බෙදීමේ විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් සයිටම් ආයතනය වසා දැමුවත් කමක් නැත. සැබැවින්ම සයිටම් වැසීමේ යෝජනාවට එකඟ වී සන්ධීය බලය බෙදීමක් වෙනුවෙන් පෙනී සිටින්නට අපද සූදානම්ය.
ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදයේ යෙදෙන අතර ජනවාර්ගික ප්‍රශ්ණය යළිත් පැසවන තැනට දමා කල් දමන්නට වුවමනා නැත. අනෙක් අතට සයිටම් තිබුණත් නැතත් වාමාංශික කණ්ඩායම් ජාතික ගැටලුව ගැන සංවාදයේදී කට්ටි පනිමින් රටේ සුළුතර ජනතාව මඟහරින පසුබිමක සමාජවාදය උදාවෙනු ඇතැයි සිහින බැවීම බොරුවක් පමණක්ම වනු ඇත. 

(රාවයේ පළ වූ ලිපියකි.)

3 comments:

  1. //පෙසපෙ ප්‍රමුඛ කණ්ඩායම ස්වයං නිර්ණය අයිතිය සහ සන්ධීය ක්‍රමයකට බලය බෙදීමේ විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් සයිටම් ආයතනය වසා දැමුවත් කමක් නැත. සැබැවින්ම සයිටම් වැසීමේ යෝජනාවට එකඟ වී සන්ධීය බලය බෙදීමක් වෙනුවෙන් පෙනී සිටින්නට අපද සූදානම්ය.///
    සන්ධීය ක්‍රමයකට රටේ බහුතරයකගේ අනුමැතියක් ඇති බව ඔබ සිතනවාද ? මේ විසඳුම මහපොළොවේ කිසිදිනක යාථාර්තයක් නොවන විසඳුමක් නොවේද ?

    ReplyDelete
  2. සයිටම් එක වැහුව ගමන් විප්ලවෙයි සමාජවාදෙයි දෙකම ඉවරයි. 1980 ගණන් වල වුන දේම ආපහු වටයකින් පටන් අරන්. එකම දේ 80 අග වෙච්ඡ දේට නොයන එක.

    ReplyDelete