කේසවරාජන් නවරත්නම්ගෙ පනෛමරක්කාඩු චිත්‍රපටිය දෙසැම්බර් 05 වැනි අඟහරුවාදා හවස 4ට
ජාතික චිත්‍රපටි සංස්ථාවෙදී
පළවැනි වතාවට ප්‍රදර්ශණය වෙනවා.
පනෛමරක්කාඩු හෙවත් තල් වනය |
එන්. කේසවරාජන් නම් ඊළාම් සිනමාවෙ
දැවැන්තයා, ඊළාම් සිනමාව වෙනස් මඟකට ගෙනආ අධ්‍යක්ෂවරයා යුද්ධයක අවසානයෙන් පසුව ශ්‍රී
ලාංකේය දෙමළ සිනමාව වෙනුවෙන් චිත්‍රපටියක් නිර්මාණය කරනවා. උතුරේ සිනමාව වෙනස්කරපු
ඔහු පළමුවතාවට දකුණේ චිත්‍රපටි සංස්ථාවේදී ප්‍රසිද්ධ සිනමා දර්ශණයකට එක්වෙනවා. මේ
සියල්ල සිනමා ඉතිහාසය පැත්තෙන් ගත් කළ ඓතිහාසිකයි. මේ ඓතිහාසික අවස්ථාවෙ ඔහුට
කියන්නට දේවල් බොහෝ ඇති. දකුණේ මාධ්‍ය විසින් ආවරණය නොකරපු, මේ මොහොතේ ඔහුට කියන්න
ඕනෑවුණු දේවල් කිහිපයක් මෙහි සටහන් කර තියන්න ඕනෙ. චිත්‍රපටිය බලන්න කලින් ඔබේ
දැනගැනීමට.
(ඊළාම් කියන වචනයට සමහරු බයවෙන්න පුළුවන්. මේ ඊළාම් කියන්නෙ දෙමළ ජනතාව තනන්නට උත්සාහ කළ ස්වාධීන රාජ්‍යය නෙවෙයි. ලංකාවට දෙමළ භාෂාවෙන් පැරණි දෙමළ සාහිත්‍ය කෘතිවල පවා සඳහන් කෙරෙන නම. ඒ නම භයානකයි වගේනම් වෙනත් නමක් යෝජනා කරන්න පුළුවන්. ලාංකේය දෙමළ සිනමාව වගෙ එකක්.)
(ඊළාම් කියන වචනයට සමහරු බයවෙන්න පුළුවන්. මේ ඊළාම් කියන්නෙ දෙමළ ජනතාව තනන්නට උත්සාහ කළ ස්වාධීන රාජ්‍යය නෙවෙයි. ලංකාවට දෙමළ භාෂාවෙන් පැරණි දෙමළ සාහිත්‍ය කෘතිවල පවා සඳහන් කෙරෙන නම. ඒ නම භයානකයි වගේනම් වෙනත් නමක් යෝජනා කරන්න පුළුවන්. ලාංකේය දෙමළ සිනමාව වගෙ එකක්.)
ඊලාම් සිනමාව
ඒ සිනමාව යුද්ධයෙන් පස්සෙ අලුතෙන්
පටන්ගන්න එකක් නෙවෙයි. ඊළාම් සිනමාවම තමයි. කිසිම වෙනසක් නැහැ. පාලකයන් හැර. එහෙත්
නිදර්ශනම් නිෂ්පාදන ලෙස එකල අම්මා නලමා, කඩලෝර කාට්ටු වගේ චිත්‍රපටි කරද්දී ඔහුට
දැනුණු පහසුව කොහෙත්ම පනමරකාඩු කරද්දී දැනෙන්නෙ නැතිව ඇති. ඇත්තටම කිව්වොත් දෙමළ
සිනමාකරුවෙක් විදියට ඔහු පනමරකාඩු කරද්දී වින්ද අපහසුව එක්ක හිතනවා ඇත්තෙ ශ්‍රී ලංකාව
තුළ දෙමළ සිනමාව කරනවාට වඩා ඊළාම් රාජ්‍යයක සිනමාව කරන එක පහසුයි කියලා. ඒ දකුණෙ සිංහලයන්ගෙ
වැරැද්දක් නිසා නෙවෙයි. ඔහුට අභියෝග එල්ලවුණේ දකුණෙන්ම නෙවෙයි.
දකුණෙ සංස්කෘතික, කලා, දේශපාලන වැඩ
එක්ක සම්බන්ධවෙලා ඉන්න උදවිය ඉදිරියේදී වැඩි වැඩියෙන් කේසා ගැන දැනගනීවි. කේසා
නිර්මාණය කරපු චිත්‍රපටිය වගේම ඔහු රඟපාන චිත්‍රපටියත් ඒකට හේතුවේවි. අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ
විමුක්ති ජයසුන්දරගේ අධ්‍යක්ෂණයෙන් කතා තුනක එකතුවෙන් නිර්මාණය වුණ තුන්දෙනෙක්
චිත්‍රපටියේ ප්‍රසන්න ජයසුන්දර අධ්‍යක්ෂණය කරන්නෙ කේසාගේ කතාවක්. ඒ චිත්‍රපටියෙ
කේසා තමන්ගේ චරිතය රඟපාන නිසා චිත්‍රපටිය එළිදකදිද්දී තව තවත් කේසා ගැන අපේ අය
දැනගනීවි.
ඊළාම් සිනමාවේ පුරෝගාමී අධ්‍යක්ෂවරයා
වෙච්ච ඔහු තමන්ගෙ පළවැනි චිත්‍රපටිය වන තායගමේ තාහම් චිත්‍රපටිය
කරද්දී එල්ටීටීඊය නිල නොවන ‘ඊළාම්‘ රාජ්‍යය බිහි කර තිබුණෙ නෑ. තායගමේ තාහම්
වෙනුවෙන් ඔහු දකුණේ චිත්‍රපටි සංස්ථාවෙන් ණයක් පවා ඉල්ලන්න උත්සාහ කරනවා. ඒ වෙද්දී
චිත්‍රපටි සංස්ථාවෙ ණය ලබාගැනීමේ ක්‍රමයක් තිබුණා. ඔහු අවුරුදු දහනවයේදී අම්මාට
හොරෙන් චිත්‍රපටි සංස්ථාවට එන්නෙ ණය ගැන බලන්න. එහෙත් ඔහු ණය ඉල්ලන අදහස
අත්හරිනවා. ඒ කොළඹදී ඔහුගෙ කතාවට බලපෑම් කරන්න වගේම චිත්‍රපටියෙ රඟපාන්නත් ලොකු
පිරිසක් ආ නිසා. අන්තිමේ ඔහු පළවැනි චිත්‍රපටිය සල්ලි එකතුකරගෙන අසීරුවෙන් හදනවා.
දෙවැනි චිත්‍රපටියෙ ඉඳන් ඔහු චිත්‍රපටි තැනුවෙ ඊළාම් රාජ්‍යය ඇතුලේ. ඒ මිනිසුන්ට
පමණයි. ඒ චිත්‍රපටි සියල්ලේම පාහේ පිටපත් දැන් විනාශවෙලා. ඉන්පස්සෙ ඔහු නැවත තනන
පනෛමරක්කාඩු චිත්‍රපටිය දකුණට පැමිණීම ඓතිහාසිකයි. සිනමා ඉතිහාසයේ සුවිශේෂි
අවස්ථාවක්. දැන් අවුරුදු 37කට පස්සෙ ආයෙමත් කේසා කොළඹ චිත්‍රපටි සංස්ථාවට එනවා. ඒ
තමන් හදපු චිත්‍රපටිය පෙන්වන්න.
කතාව උතුර ගැනයි
ඔහු දෙමළ මිනිසුන්ගේ අරගලය වෙනුවෙන්
පෙනී සිටි අයෙක්. අදත් පෙනී ඉන්න අයෙක්. ඒත් අනාගතය සාමය තුළින් ගොඩනැඟෙන බව
විශ්වාස කරන අයෙක්. ඔහු තමන්ගෙ පළවැනි චිත්‍රපටියෙන් කියන්න උත්සාහ කළ කතාව
මොකක්ද? දකුනේ සිංහලයන් ගැන කතාවක්ද? දකුණේ රාජ්‍යය ගැන කතාවක්ද? නැහැ. ඔහුට
කියන්න ඕනෙවුණේ උතුරේම මිනිසුන්ට නැඟී සිටින්නට බාධා කරන උතුරේම සිටින අය ගැන
කතාවක්. ඔහු උතුර වෙනුවෙන් නිර්මාණය කරන චිත්‍රපටියෙදී කැඩපත උතුර දෙසට
අල්ලනවා. ‘‘මෙන්න බලාගනිල්ලා අපේ මුහුණ. ඒකත් ඒ තරම් සුන්දර නැහැ නේද?“ ඔහු එහෙම
අහනවා.
මනුෂ්‍යත්වය සිනමාව තුළ
ඔහුගේ අදහස් ඉතාම කෙළින් තියෙනවා. ඉතාම
පැහැදිළිව තියෙනවා. ඒ වෙනුවෙන් පෙනී ඉන්නට ඔහු ඕනෑම අයෙක් එක්ක හැප්පෙන්නට
සූදානම්. එක්වරක් ඔහු තමන්ගෙ චිත්‍රපටියක හමුදා සෙබලෙක්ව එල්ටීටීඊ අත්අඩංගුවට
පත්වෙන හැටි චිත්‍රණය කරනවා. ඒ හමුදා සෙබලා සහ එල්ටීටීඊ සෙබලෙක් අතර උණුසුම් මිත්‍රත්වයක්
ගොඩනැඟෙනවා. ඒත් එල්ටීටීඊයේ ඉහළ නිලධාරීන් මේ චිත්‍රපටිය වාරණය කරන්න උත්සාහ
කරනවා. ‘සිංහල මනුස්සයෙක් හොඳ මිනිහෙක් විදියට පෙන්වුවොත් කොල්ලොන්ගෙ මොරාල්
නැතිවෙනවා.‘ ඉහළ නිලධාරීන් කියනවා. එල්ටීටීඊයෙ ප්‍රොපගැන්ඩා වලට එහෙම චිත්‍රපටියක්
පෙන්වීමෙන් ලොකු බාධාවක් වෙනවා. අන්තිමේදී ප්‍රශ්ණය ප්‍රභාකරන් වෙත යනවා. ප්‍රභාකරන්
චිත්‍රපටිය පෙන්වන්නට අවසරය දෙනවා. කේසා කියන විදියට ප්‍රභාකරන් සීමා විරහිත චිත්‍රපටි
රසිකයෙක් නිසා. කෙසේ හෝ ප්‍රභාකරන් මෙන්ම එල්ටීටීඊ නායකත්වය එක්කත් කේසා තමන්ගෙ
කතාකිරීමේ අයිතිය වෙනුවෙන් හැප්පෙන්නට බිය වුණේ නැහැ. එහෙම චිත්‍රපටියක් එල්ටීටීය
යටතේ නිර්මාණය වෙන්නට කිසි ඉඩක් නැතැයි තර්ක කරන්නෙකු සිටිනවානම් පහත ලින්ක් එකෙන්
චිත්‍රපටිය බලන්න පුළුවන්.
පනමරකාඩු දුෂ්කරත්වය
කේසවරාජන් නවරත්නම් යුද්ධය අවසාන සමයේ
හමුදාව භාරයට පත්වෙනවා. කිසිවෙකු කිසිදා අවියකින් ඝාතනය කර නැති ඔහුව ත්‍රස්තවාදීන්ගේ
ගොඩට අහුවෙලා ‘පුනරුත්ථාපනය‘ කෙරුණා. ඉන්පසුව යාපනයට යන ඔහු නැවතත් චිත්‍රපටියක්
කිරීමේ වැඩේට අතගහනවා. තමන්ගේ සම්බන්ධතා පාවිච්චි කරමින් චිත්‍රපටියේ වැඩේට අතගහන
ඔහු චිත්‍රපටිය ලොකු වැඩක් විදියට කල්පනා කරනවා. 2009 ඉඳන් ඔහු හිතුවේ යුද්ධයෙන්
පසුව උතුරු පොළොවේ කලාව අස්වද්දන හැටි. ඕනෑනම් ඉන්දියාවට ගිහින් චිත්‍රපටි කරන්න
පුළුවන් වුණ ඔහුට, නැතිනම් ලංකාවෙන් පිටවී චිත්‍රපටි කරමින් හෝ නොකරමින් හොඳ
ජීවිතයක් ගතකරන්න හැකියාව තිබුණු ඔහුට තමන් වසර ගණනාවක් තිස්සේ කැමරාවෙන් කරපු
අරගලය ඉදිරියටත් කරන්න වුවමනාව තියෙනවා. නිෂ්පාදකවරයෙක් සහ වැඩේ ආරම්භයට අවශ්‍ය
උදව් ලැබෙනවා. පිටපත ලියැවෙනවා. ඉහළින් වැඩේ පටන්ගන්නවා. සංගීත ඇල්බමය නිර්මාණය
වෙනවා. නළු නිළියන් තෝරාගැනෙනවා. ෆ්‍රස්ට් ලුක් පෝස්ටරය එළිදැක්වෙනවා. එහෙත් ටික
දවසකින් වැඩේ කඩාකප්පල් වෙන්නේ ඔහු එක්ක සිටි බොහෝදෙනෙක් ඔහුව අත්හරින්නට පටන්ගන්න
නිසා.
ඔහුගේ නිෂ්පාදකවරයා පොරොන්දු
වූ විදියට මුදල් නොදී මඟහරිනවා. නළු නිළියන් නැති වෙනවා. භාණ්ඩ
නැතිවෙනවා. ඔහුගේ පිටපත හැර හැමදේම නැතිවෙනවා. අන්තිමේ ඔහු තනිවෙද්දී ආයෙමත් වැඩේ
පටන්ගන්න උත්සාහ කරනවා. තනියම. අතේ ඇති මුදලින්.
අලුත් ශිල්පීන් එක්ක අප්‍රතිහත
ධෛර්යයෙන්
ප්‍රියා ස්ටීවන් ඔහුට හමුවෙන්නෙ ඒ
අතරෙ. ජසිදරන්, සසිදරන් වගේ තරුණයො හමුවෙනවා. ඔහුගේ බිරිඳ හැමදාම වගේ ළඟ ඉන්නවා.
මට නම්වලින් මතක නැතත් මුහුණුවලින් මතක කිහිපදෙනෙක් ඔහුව විශ්වාස කරමින් ළඟට එනවා.
ඔහු වැඩ පටන්ගන්නවා. චරිත රඟපාන්නට නළුවන් හෝ නළුවන් වෙනුවෙන් ගෙවන්නට මිලක් ඔහුට
නැහැ. අන්තිමේදී ප්‍රධානම චරිතවලට ඔහු ළඟ සිටින අය ආදේශ වෙනවා. බිරිඳ, ප්‍රධාන
නිළිය ප්‍රියාගේ නැඟෙනිය, කැමරා ශිල්පියා ජසිදරන් ඇතුළු නළුවන් නොවන, දන්නා කියන
සියළුම දෙනා පාහේ චිත්‍රපටියේ ප්‍රධානම චරිත ලෙස එක්වෙනවා. අප දන්නා කියන රංගන
ශිල්පියෙකු විදියට එක්වෙන්නෙ ධර්ශන් ධර්මරාජ් විතරයි.
ණය වෙවී වැඩේ පටන්ගන්නවා. කැමරාව සහ
භාණ්ඩ තියෙන නිසා වැඩේ වෙනුවෙන් විවාහ, උත්සව ඇතුළු විවිධ අවස්ථා කුලියට වීඩියෝ
කොට මුදලක් හොයාගන්නවා. ප්‍රියා විශාල කැපකිරීමක් කරනවා. බැණුම් අසමින් මුදල්
එක්වෙනවා. ජසිදරන් ළඟින්ම ඉන්නවා. කණ්ඩායම අරමුණ ගැන විශ්වාසය තියනවා. කැමරාව සහ
වුවමනාව හැර අන් කිසිවක් ඔවුන්ට නැහැ. ලයිට් හෝ අන් කිසිවක් නෑ. සාමාන්‍ය ආලෝකයෙන්
වැඩේ කළා. චිත්‍රපටිය වෙනුවෙන් සමහර දර්ශණ තල අවශ්‍ය වුණා. වාහන අවශ්‍ය වුණා. අවශ්‍ය
විදියට ඒවා නොලැබුණ තැන්වලදි ඔවුන්ට ආදේශක පාවිච්චි කරන්න වුණා. ඒ නිසා ඇතැම් තැන්
තාත්වික නැහැ. ඇතැම් රඟපෑම් අතිවිශිෂ්ඨ නැහැ. දර්ශණ තලවල හිටපු මට මතකයි ප්‍රියා
සහ කේසා නළුනිළියන් නොවන ශිල්පීන්ට බැණ වදිමින් එකම දර්ශණය විසි තිස් වතාව ගත්ත
හැටි. තමන්ට හැකි උපරිම අයුරෙන් දර්ශණ අවසන් කරන්නට කේසා මහ අව්වෙ වෙහෙස වුණ හැටි.
චිත්‍රපටියෙ රූගත කිරීම් අවසාන වුණාට
පස්සෙ සංස්කරණය, සංගීතය නිර්මාණය කිරීම, ඩබින් ඇතුළු සියල්ල අභියෝගයක් වුණා.
අන්තිමේදී වෙනත් රැකියාවල යෙදෙන, සිනමාව ගැන උනන්දුවක් ඇති සංස්කරණ ශිල්පීන් සහ
සංගීතවේදීන්ගෙ සහය ලැබුණා නොමිලේ. එහෙත් ඔවුන්ට විවේක ලැබුණු වෙලාවල්වල වැඩේ
කෙරෙද්දී සෑහෙන දවසක් ගතවුණා. කේසා ණයවුණා. ඒත් අධිෂ්ඨානය දියවුණේ නැහැ.
ළඟින් සිටි අය
චිත්‍රපටිය වෙනුවෙන් ඔහු එක්ක හිටපු අය
බොහෝයි. අංක එක ඔහුගෙ බිරිඳ, දියණියන් දෙන්නා. ඔවුන් තාත්තාව විශ්වාස කළා. අනෙක්
කෙනා ඔහුගේම ජීව විද්‍යාත්මකව නැතත් වැඩ එක්ක ඔහුගේම දුවෙක් වෙච්ච ප්‍රියා
ස්ටීවන්. ප්‍රියන්
චිත්‍රපටියෙ හඬකැවීම් සහ සංගීතය කරලා
දුන්නා. තුසිකරන්, සහ නරේන්ද්‍රන් ඔහු ළඟ හිටියා. ජසිදරන් කැමරා ශිල්පියා විදියට
චිත්‍රපටියෙ වැඩට ඇවිත් දක්ෂ රංගන ශිල්පියෙක් විදියට ඉස්මතු වුණා. සසිදරන් චිත්‍රපටිය
එක්ක හිටියා. ඔය විදියට ඉතා අසීරුවෙන් චිත්‍රපටිය අවසන් කෙරුණා.
කේසවරාජන්ට චිත්‍රපටිය යාපනයෙ තිරගත
කරන්න උදව්කළා අනෝමා රාජකරුණා. කේසාගෙ කල්‍යාණ මිත්‍ර යෙක් වගේ ඔහු එක්ක ප්‍රසන්න
විතානගේ හිටියා. හඳගම ඇතුළු අනෙක් අය කතාකළා. කේසා හරි ආදරෙයි අජිත් කුමාරසිරිට. ඒ
වගේම දෙරණේ සිනමා සම්මාන උළෙල සංවිධානය කරන කීර්ති අයියාට. දකුණෙන් ඔහුගෙ දුකසැප
විමසපු අය බොහෝයි. සෙපා ආයතනයේ උදාන් ප්‍රනාන්දු චිත්‍රපටි සංස්ථාවේ සිනමා දර්ශණය
සංවිධානය කරන්න මැදිහත් වුණා.
දෙමළ සිනමාවේ කේසව් ලකුණ
කේසවරාජන් විතරක් නෙවෙයි, උතුරේ තරුණයෝ
බොහෝදෙනෙක් චිත්‍රපටි කරන්න කැමතියි. ඔවුන් කිහිපදෙනෙක් ඒ ආසාව
සැබෑ කරගනිමින් චිත්‍රපටි කරලා තියෙනවා. එහෙත් බොහෝවිට දෙමළ තරුණයන්
සිනමාවයැයි සිතන්නේ දකුණු ඉන්දීය සිනමාව. ඉතින් ඔවුන්ගේ චිත්‍රපටිවල තියෙන්නෙ
දකුණු ඉන්දියානු වට්ටෝරුවක්. එහෙත් අපේ දෙමළ සිනමාවක් වෙනුවෙන් අපේ හැඩතල රැගෙන
අපේ සමාජයේ ඇති කතා සිනමාවට ගේන්නයි කේසව් උත්සාහ කරන්නෙ. හෙට ඔහුගෙ චිත්‍රපටිය
නැරඹුවාට පස්සෙ විවිධ ප්‍රතිචාර ලැබෙන්න පුළුවන්. එහෙත් ඔහුගෙ මහන්සිය කිසිවෙකුට
නොතකා හරින්න බැහැ.
තවමත් අභියෝග
මේ වෙද්දී කේසව් මුහුණදෙන ලොකුම ප්‍රශ්ණයක්
තමයි නිෂ්පාදකවරයාගෙ බාධා කිරීම්. චිත්‍රපටියෙ නිෂ්පාදකවරයා මුලින්ම චිත්‍රපටිය
වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරන්නට කයිවාරු ගැහුවා. ඉතින් ඒ මුදලට ගැලපෙන්නයි
කේසව් පිටපත නිර්මාණය කළේ. එහෙත් වැඩ පටන්ගනිද්දී මුදල් නොදී නිෂ්පාදකවරයා පොලු
තියන්න ගත්තා. අන්තිමට ණය වෙමින් තමයි කේසව් චිත්‍රපටිය නිර්මාණය කළේ. ඒ නිසා
ඇත්තටම චිත්‍රපටියෙ නිෂ්පාදකවරුන් කියන්නෙ කණ්ඩායමම තමයි. ඊට පස්සෙ එක් මොහොතක
නිෂ්පාදකවරයා මුදල් දෙන්න සහ ණය පියවන්න එකඟ වුණා. ඒ එකඟතාවය අස්සෙ චිත්‍රපටියෙ
දර්ශණ කිහිපයක් නිෂ්පාදකවරයාටත් ලැබුණා. එහෙත් ඉන්පස්සෙ ආයෙත් ඔහු මඟහැරියා.
කේසව්ගෙ වැඩේ කඩාකප්පල් කරන්නට චිත්‍රපටියෙ සංස්කරණය නොකළ දර්ශණ කිහිපයක් යූටියුබ්
අඩවියේ මුදාහැරියා. චිත්‍රපටියේ අයිතිය තමන්ට බව කියන්න ගත්තා.
මේ වෙද්දී කොළඹ චිත්‍රපටි දර්ශණය
නවත්වන්නත් ඔහු උත්සාහ ගන්නවා. චිත්‍රපටි සංස්ථාවට චිත්‍රපටිය තමන්ගේ කියලා
නිෂ්පාදකවරයා බලපෑම් කරනවා. එහෙත් සැබවින්ම චිත්‍රපටිය කාගේදැයි ඔහුගෙ මහන්සිය
දන්නා අය දන්නවා. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වගේ අධ්‍යක්ෂවරුන්, අපි වගේ මාධ්‍ය
වේදීන් ඇතුළු බොහෝ දෙනෙක් චිත්‍රපටියෙ සැබෑ හිමිකරුවා කවුදැයි දන්නවා. සුරංගා
රණවක, අජිත් කුමාරසිරි වගේ කේසාව මුණගැහුනු අයත් ඒ ගැන දන්නවා.
හරිහැටි කෑමක් බීමක් නැතිව, නිදිවරමින්
වසර ගණනාවක් තිස්සෙ කළ නිර්මාණයක් කොළඹට ඇවිත්. ඒ වෙහෙස ගැන කතාකරන්නට ඔබත් චිත්‍රපටි
සංස්ථාවට එන්න.
( මේ සතියෙ රාවයෙ ඔහු ගැන ලියන්න හෝ
ඔහු එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න මට ඉඩ ලැබුණෙ නැති නිසා කාගේවත් අනුමැතිය අවශ්‍ය
නැති, මටම හිමි සමාජ මාධ්‍ය අවකාශයෙ මම ඔහු ගැන
ලියන්න හිතුවා. කලකට පස්සෙ නැවත බ්ලොග් අවකාශයට ලිපියක් එක්වෙන්නෙ ඒ විදියට. බ්ලොග්
අඩවිය කාලයක් පාළු වී තිබුණත් ඉදිරියේදී බ්ලොග් අඩවිය වෙනස්කම් එක්ක අඛණ්ඩව
පවත්වාගෙන යන්න පුළුවන් වේවි. )
Thanks Uduwa
ReplyDeleteඑල .. අපි එනවා බලන්ඩ ...
ReplyDeleteකේසා, මහින්දපාල, ප්‍රසන්න, හඳගම , දමින්ද මඩවල
ReplyDeleteමම සාමාන්‍යයෙන් ජයන්ත චන්ද්‍රසිරිගේ චිත්‍රපටි විතරයි සල්ලි ගෙවලා බලන්නේ.
ReplyDeleteඒ වුනත් මෙයාගේ චිත්‍රපටිය සිංහල හඬ කවලා පෙන්නනවා නම් සල්ලි ගෙවලා බලන්නම්.
+++++++++
ReplyDeleteකෙලෙව්වා නේද සභාපතිය ඒකට.. :/
ReplyDeleteThanx uduwaa
ReplyDeleteඊලම් සිනමාව කියල කියන්දම අවශ්‍ය නැහැ හැබැයි මොකද ඒක සම්බන්ධ වෙන්නෙම වෙන තත්වයක් එක්ක නිසා. "දමිල සිනමාව" කිව්වහම ඉවරයිනේ "සිංහල සිනමාව" වගේ. මේ චිත්‍රපටි යු ටියුබ් එකේ හෙම තියනවද
ReplyDelete