Monday, December 11, 2017

කොටින්ට ආයුධ කොහෙන්ද? Jagga Jasoos

ජග්ගා ජාසූස් බොලිවුඩ් චිත්‍රපටිය මේ වසරේ අප්‍රේල් මාසයේ තිරගත වූ චිත්‍රපටියකි. ඉහළ ආදායම් උපයන්නට සමත් වූ චිත්‍රපටිය අනුරාග් බාසුගේ අධ්‍යක්ෂණයකි.





අනුරාග් බාසු බොලිවුඩ් සිනමාවේ අපූරු දේ කළ අධ්‍යක්ෂවරයෙකි. ගැන්ග්ස්ටර්, මර්ඩර් වැනි විශිෂ්ඨ චිත්‍රපටිවලින් පසුව ඔහු අතිසාර්ථක වූ කයිට්ස් චිත්‍රපටිය නිර්මාණය කළේය. ඉන් පසුව 2012 දී ඔහු ලියා අධ්‍යක්ෂණය කළ බාෆි චිත්‍රපටිය ඉන්දීය සිනමාවේ විශේෂිතම චිත්‍රපටයකි. බොලිවුඩ් සිනමාවේ අනාගත තරුව ලෙස නැඟී ආ රන්බීර් කපූර් තමන්ගේ රංගන හැකියාව උපරිමයෙන්ම පෙන්වූ අවස්ථාව බාෆි යැයි කිව හැකිය. ඉන් වසර පහකට පසුව ජග්ගා ජාසූස් චිත්‍රපටිය තිරගත වෙන්නේ පෙර චිත්‍රපටිවල සාර්ථකත්වයම යළි රඳවා ගනිමිනි. චිත්‍රපටි තොග ගණන් එළියට දමන අධ්‍යක්ෂකවරුන්ට වඩා චිත්‍රපටි කිහිපයක් පමණක් කර ඇති අනුරාග් බාසු බොලිවුඩ් ඉතිහාසයේ තමන්ට හිමි විශේෂ අනන්‍යතාවයක් දිනාගෙන හමාරය. 


කතාව ඇරඹෙන්නේ කොටස් කිහිපයකින් යුත් කොමික් පොතක් ගුරුවරියක් විසින් පන්තිකාමරයක සිසුන්ට කියාදෙන අයුරිනි. ඉන්පසුව ගුරුවරිය කියන කතාවේ දර්ශණ අපට බලන්නට ලැබෙයි. කතාව කොටස් කිහිපයකි. පළමු කොටස ජග්ගාගේ ළමා කාලයයි. උතුරු ඉන්දියාවේ පුරිලා දිස්ත්‍රික්කයේ ගමක සිටින ජග්ගා ජාසූස් නම් අනාථ තරුණයෙකි. ඔහු ඉපදුණු පසු මව මියගොස් උපන් රෝහලේ ජීවත්වෙද්දී බාග්ජි නම් අපූරු පුද්ගලයෙක් ඔහුව හදාවඩාගන්නට රැගෙන යයි. ගම්මානයක හැදී වැඩෙන බාග්ජිව හමුවීමට දිනක් අමුතු පුද්ගලයෙක් පැමිණ බාග්ජිට පණිවුඩයක් දෙයි. ඉන්පසුව බාග්ජි ජග්ගාව පාසැලට බාර දී‍ අතුරුදන් වෙයි. ඉන්පසුව දෙවැනි කොටස ඇරඹෙයි. වසරකට වතාවක් ජග්ගාගේ උපන්දිනයට සුභපැතුම් රැගත් වීඑච්එස් වීඩියෝවක් බාග්ජි එවයි. පුංචි ජග්ගා තරුණ වියට එයි. පාසැලේ බුද්ධිමත්ම තරුණයා ජග්ගාය. ඔහු ගමේ සිදුවන අභිරහස් විසඳයි. ගමේ පොලීසියද ජග්ගාව රහස් පරීක්ෂකයෙකු මෙන් සලකයි. තුන්වැනි කොටසේදී ගමට මාධ්‍යවේදිනියක් පැමිණෙන්නේ දරුණු ආයුධ ජාවාරමක් ගැන තොරතුරු එකතුකරන්නටයි. ඇය සමඟ ජග්ගා මිතුරුවෙයි. සිව්වැනි ‍කොටසේදී නොසිතූ ලෙස තමාව හදාවඩාගත් බාග්ජි ගැන පුවතක් ජග්ගා දැනගනියි. ජග්ගා සහ මාධ්‍යවේදිනිය බාග්ජීව සොයාගෙන ලෝකය වටා යයි. අවසානයේදී ගමේ පුංචි අභිරහස් විසඳමින් සිටි ජග්ගා ජාත්‍යන්තර මට්ටමේ විශාල අභිරහසක් විසඳයි.

චිත්‍රපටියේ දෙබස්වලින් වැඩි කොටසක් සාමාන්‍ය කථනය වෙනුවට ගායනයෙන් කියයි. දෙබස් ගීත ලෙස ලියූ ඒවාය. අමිතාබ් භට්ටාචාර්ය විසින් ලියූ වචන සංගීත අධ්‍යක්ෂ ප්‍රිතම්ගේ තනු සමඟ එක්වෙමින් අනුරාග්ගේ තිර රචනය සරුසාරවත් කරයි. චිත්‍රපටිියේ ගීතමය දෙබස් මෙන්ම ගීත කිහිපයක අතිශය ජනප්‍රිය විය. කොමික් පොත් කිහිපයක කතාවක් ලෙස චිත්‍රපටිය ගලද්දී‍ බොහෝ සිදුවීම් අධිතාත්වික ඒවාය. චිත්‍රපටියේ හාස්‍යමය රසය ඒ තුල රඳවාගනියි. අපේක්ෂිත අතිවිශිෂ්ඨ රංගනය ලබාදෙන රන්බීර් මෙන්ම අනපේක්ෂිත අයුරින් කත්‍රිනා කා‍යිෆ්ද ලබාදෙන අතිවිශිෂ්ඨ රංගනය චිත්‍රපටිය වර්ණවත් කරයි. 

චිත්‍රපටියේ අපූරුම කතාව ඇත්තේ යටි පෙළෙහිය. චිත්‍රපටියේ කතාව පියා සොයාගෙන යන බුද්ධිමත් පුතෙක් ගැන වුණත් එහි යටිපෙළෙහි ආයුධ ජාවාරමක් ගැන කතාවක් කියැවෙයි. ඉන්දියාවේ මහා ආන්දෝලනයක් ඇතිකළ 1995 දි පුරිලා දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයකට අහස් යානාවකින් ආයුධ බිම දැමීමේ සිද්ධිය සහ ඉන්පසුව ලොවපුරා ආයුධ ජාවාරම ගැන චිත්‍රපටිය කතාකරයි. සරල ප්‍රහසනයක වුවත් ලොවපුරා ආයුධ ජාවාරම ක්‍රියාත්මක වෙන අයුරුත්, සියළු රටවල පා‍හේ ජාතික නායකයන්ට ආයුධ ජාවාරමෙන් කොමිස් කුට්ටි ලැබෙන අයුරුත් ඒ කොමිස් වලින් ලොවපුරා රටවල යුධමය ගැටුම් ඇතිවන අයුරුත් චිත්‍රපටියෙහි කතාකරයි. මෑතකාලයේ සියළු ගැටුම්වල මුල ආයුධ ජාවාරම්කරුවන් බව කියයි. ඒ ආයුධ ජාවාරම්වල මහමොළකරුවා හිස් දෙකේ මිනිසෙකු වීමත් අපූරුය. ලොවපුරා යුද්ධවල දෙපාර්ශ්වයම මෙහෙයවන්නේ ඒ හිස් දෙකෙනි. සරල කතාවකින් මහා දේශපාලන කතාවක් කියා නිමකරයි.


(රාවයේ පුවත්පතේ 'විසිහතර' පිටුවේ පලවූ ලිපියකි. ඔබත් විසිහතරට ලියන්න. රාවය කියවන්න.)


3 comments:

  1. කොමික් නම් කොමික් දෙන චිත්‍රපටි පිරුණු රටක කොමික් එක්ක වැදගත් පණිවිඩ ලබා දෙන මේ වගේ චිත්‍රපටි බලන්නම වටිනවා.

    ReplyDelete
  2. ෆිල්ම් එක නම් බලලා නැහැ. එත් සින්දු දෙකක් තියෙනවා , පට්ට.

    ReplyDelete