Sunday, June 24, 2018

ඝාතනයට පෙර!

හොස්ටල් එකේ. අපි එතකොට එකොළහේ සෙට් එක. හොස්ටල් පහසුකම් තිබුණෙ ඕලෙවල් වෙනතුරු විතරයි. ඉතින් එකොළහේ සෙට් එක තමයි හොස්ටල් එකේ ලොක්කෝ. ප්‍රසිද්ධ කොළඹ ඉස්කෝලෙක. හොස්ටල් එකේ බැජ් විදියට තමයි කල්ලි තිබුණෙ. පොඩි උං ඉන්න ඕනෑ ලොකු උන්ට ඕනෑ විදියට. ඇතුලේ යන වලි ගැන සර්ලාට කේලම් කිව්වොත් කේලමෝ අල වෙනවා. ඉතින්, අපට චණ්ඩිපාට් දාන්න නිදහස තිබුණා.

අපේ සෙට් එකේ  හයක්. අපි පොඩි උං කාලෙ ලොකු උං ඉස්සරහ බලු වුණාට, අපි එකොළහේදී මම තමයි ලොකුම කෙරුමා. පොඩි උංට වැඩිම පාට් දැම්මෙ මම. පණ්ඩිත පාට් දාන උන්ට රිදෙන්න දුන්නෙ මම. පොඩි උං මගේ ඉස්සරහදී ටිකක් බය පෙන්නුවා. මං නැති වෙලාවට මට හොරෙං මාව බලු කාඩ් එකට දානවා ඇති.




ඔන්න ඔහොම කාලෙක තමයි දවසක් අපේ කාමරේ හොරෙං තියාගෙන හිටපු ෆෝන් ටිකක් අතුරුදන් වුණේ. එකොළහෙ උංගෙ කාමරේට ඇවිත් අපේ ෆෝන් හොරකං කරන්න හයියක් තියෙන්නෙ මොන එකාටද? ඕක කරපු එකාට දෙන්න ඕනෑ. අනෙක් උන්ටත් ඉගෙනගන්න.

ඉතින්, අපි හොරාව හොයන්න පටන්ගත්තා. විධිමත් රහස් පරීක්ෂණයක්. ‍අදාල වෙලාවෙ හිටියෙ කවුද. හොරා වෙන්න පුලුවන් කවුද. වෙන කෙනෙක්ද කියලා හෙව්වා. අපේ පරීක්ෂණයට උදව් වෙන්න කිහිපදෙනෙක්ම ආවා. අපි අන්තිමේදී අපට වැඩියෙන්ම උදව් වුණ එකා හොරා කියලා හිතන්න තරම් අවබෝධයකට ආවා. මොකද අන්තිමේදී ෆෝන් උගේ කබඩ් එකේ තිබිලා අහුවුණා. දුන්නා අරූට ඉස්ම යන්න. ඌ ගුටි කාගෙන හිටියා. මට හොඳට මතකයි මොන තරම් දරුණු පහරදීමක්ද කියලා.

මේ සිද්ධියෙන් දවසකට විතර පස්සේ තවත් එකෙක් හරහා අපට දැනගන්න ලැබුණා මේ ෆෝන්  හොරකම් කළේ ගුටිකාපු එකා නෙවෙයි කියලා. එකෙක් ෆෝන් හොරකම් කරලා අර ගුටිකාපු එකාගේ කබඩ් එකට දාලා. මොකද අරූ මූත් එක්ක තරහයි. ඒත් උට ගහන්න බැරි හින්දා අපි ලව්වා ගස්සවන්නයි අර වැඩේ කරලා තියෙන්නෙ. මුගෙ ආච්චිට හාල් ගරන්න, හතේ අටේ ඉන්න මුන්ට එන අදහස් බලපල්ලකො.


***************************************

ශ්‍රී වික්‍රම රාජසිංහ / විමලධර්මසූරිය හෝ කීර්ති ශ්‍රී රාජසිංහ වගේ උඩරට හිටපු රජ කෙනෙක් සුදු නායකයෙක් එක්ක කියපු කතාවක් තියෙනවා. කියපු කෙනා මතක නැතත් කතාව ඡායාවක් වගෙ  මතකයි. ' ඔබ කරන්න කලින් කල්පනා කරනවා. අපි කල්පනා කරනකොට සියල්ල සිදුවී හමාරයි.'  ඔන්න ඔහොම කතාවක් තමයි කියලා තිබුණෙ. 

ඒ කාලෙ රජවරුන්ට හා රාජපුරුෂයන්ට පුරවැසියන්ගෙ ජීවිතය ගැන තීන්දු ගන්න ඉඩකඩ තිබුණා. රජතුමා නඩු අහනවා කියලා සාක්ෂි විමසමින් මධ්‍යස්ථ අධිකරණ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නෙ නෑ. චූදිතයා සහ පැමිණිලිකරුවා ගෙනල්ලා ප්‍රශ්ණ කිහිපයක් අහලා තීන්දුව දෙනවා. රජා ඉන්න මූඩ් එක අනුවත් දඬුවම තීරණය වෙනවා. රජාට හොඳටම කේන්ති ගියොත් රජතුමාව අවුස්සන කෙනෙක්ට මරණය වුණත් දෙන්න පුලුවන්. ඒ තමයි ක්‍රමය. 

ඒත් හැම නරක මිනිහෙක්ටම කියන්න කතාවක් තියෙනවා. නරක කෙනෙක්ව ඝාතනය කරලා සමාජයෙන් අයින් කරන්න ඕනෑය කියන මතය හද්දා පරණ එකක්. මොකද නරක අය කවුදැයි සෙවීමත් හරිම සංකීර්ණයි.

අපි හින්දි, දෙමළ ෆිල්ම් බලනවා. ඒ ෆිල්ම් අතරෙ තියෙනවා පොලිස් නිලධාරීන්. වීරයෝ. හොරුන්ට ඉස්ම යන්න ගහන. හොරුන්ව එන්කවුන්ටර් කරන. චුල්බුල් පාණ්ඩේ වගෙ. ඒත් එක තප්පරෙන් ඒ පොලිස් නිලධාරියා තවත් මනුස්සයෙකුගෙ ජීවිතය ගැන තීන්දු කරන්නෙ කොහොමද. මොකක්ද ඒකට පදනම. මැරුවාට පස්සෙ කියන්න පුලුවන් මැරුණු කෙනා මේ වගෙ කෙනෙක් කියලා. 

ලංකාවේදීත් පොලීසිය විසින් ඝාතනය කළාට පස්සෙ මැරුණ කෙනා මරණයට ලක්වෙන්න හේතු සීයක් ඉදිරිපත් කරනවා. පහුගිය මාසය ගන්න. නුවරදී පොලීසිය ඝාතනයක් කළා. හේතුව ඉදිරිපත් කළා පාතාල නායකයො. වෙඩි තිබ්බ නිසා අනෙක් පැත්තට තිබ්බා. මල්ලාක්කම්වල තරුණයෙක්ව ගිය සතියේ මැරුවා. හේතුව ඉදිරිපත් කළා කලහකාරී ලෙස හැසිරුණා කියලා. දැන් දකුණේ ආයුධ පෙන්වන්න ගිහින් මැරුණාලු. ආයුධ පෙන්වන්න යෑම අපි හැමෝම දන්න විදියේ පරණ පොලිස් උපක්‍රමයක්. 

ඒත් මේ මොනාවත් ප්‍රධාන මාධ්‍යවලදී විවේචනයට ලක්වුනේ නැහැ. ප්‍රශ්ණ කෙරුණේ නැහැ. විකල්ප පත්තරයක දෙකක හැරුණාම හැමෝම පොලීසිය කියන කතාව අහගෙන එහෙමම ලියනවා. ඒත් සමාජ මාධ්‍යවලදී ඒක විවේචනයට ලක්වෙනවා. ඒත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ආණ්ඩුවට ඕනෑ කතාව නිර්මාණය කරනවා. එතකොට අපිම නොදැන අපරාධකාරයෙක්යැයි කියමින් හොඳ මනුස්සයෙක්ව වුණත් මරා දාන්න ඉඩක් ලැබෙනවා.

අපි හැම මොහොතකම කෙනෙකුගෙ ජීවිතය පිළිබඳව තීරණය ඉතාම දිව්‍යමය දෙයක් විදියට සලකන්න ඕනෑ. ඒක උදුරාගැනීමට අයිතිය ලැබෙනවා කියන්නේ එහෙම අයිතිය ලබන කෙනෙක් දෙවියන් බවට පත්වෙනවා. ජීවිතය තිබීම හෝ නැතිවීම. නැතිනම් කර්මය තීරණය කරන්නා බවට පත්වෙනවා. අනෙක් කෙනාගේ කර්මඵලය ගැන තීරණය ගන්න කෙනා බවට පත්වෙනවා. ඒ තරම් බලයක්. අසීමිත බලයක්. ඇඟ කිළිපොලන බලයක්. පොලිස් නිලධාරියෙකුගෙ හෝමෝන වැඩ කරන වේගය එක්ක, කේන්තිය වැඩකරන වේගය එක්ක තුවක්කුව පත්තු කරන්නට සමාජය විසින් අනුමැතිය අවසරය දුන්නොත් ඒ අවසරය ඕනෑම අහිංසක කෙනෙක්ට විරුද්ධව පාවිච්චි කරන්න පුලුවන්. ඒ කෙනා ඔබ වෙන්න පුලුවන්. ඔබ පොලීසියට, හමුදාවට හෝ වෙන ඕනෑම කෙනෙක්ට ඒ අවසරය ලැබීම අද අනුමත කරනවා වෙන්න පුලුවන්. හෙට ඒ ආයතනයම ඔබට විරුද්ධව වෙඩි තබන්න පුලුවන්.

ඒ නිසා අපි අහන්න ඕනෑ ප්‍රශ්ණය වෙඩි තිබ්බේ කාටද? කියන එක නෙවෙයි. වෙඩි තිබ්බේ කවුද? ඒකට බලය ලැබුණෙ කොහොමද? කියන එක.

මේ කියන මංකොල්ලයටත්, පොලීසියට වෙඩි තැබීමටත් 'ආයුධ පෙන්නන්න'  ගිහින් වෙඩිකාපු මනුස්සයාගේ සම්බන්ධය මොන තරම්දැයි අපි දන්නෙ නැහැ. ඒ මනුස්සයාට තිබුණු අතීතය, මේ කණ්ඩායම එක්ක තිබුනු සම්බන්ධය අපි දන්නෙ නැහැ. ඒවා පරීක්ෂා කරන්න අධිකරණයට හැකියාවක් තියෙනවා. ( අධිකරණය පරිණත නැහැ. ) ඒත් පොලීසියට කොහොමත්ම ඒ හැකියාව නැහැ.

අපේ රටට මිනිස් ජීවිතයක් නැතිවීම සෙල්ලමක්.... ඒත් ඒ සෙල්ලම ඉක්මනින් නවත්වාගන්න වේවි.

මේ සටහන ලියන්නෙ මාතර සිදුවීම ගැන විතරක් නෙවෙයි, පොදුවේ පොලීසියට ඝාතන කිරීමට අවසරය ලැබීම ගැන. පොලිස් නිලධාරීන් අපරාධකරුවන්යැයි අපි කියන්නෙ නැහැ. බොහෝවිට මෙවැනි ඝාතන කරන පොලිස් නිලධාරීන් අවංකවම තමන්ගෙ හිතේ තියෙන ආවේග එක්ක වැඩ කරන්නෙ. නිශ්චිතවම මාතර සිදුවීමට ආවොත් ඒ වගෙ. තමන් එක්ක එකට හිටපු නිලධාරියාව ඝාතනය කළාම එන ආවේගය වචනවලින් විස්තර කරන්න බැහැ. ඒ කේන්තිය විස්තර කරන්න බෑ.  ඒ අයගෙ වේදනාව සහ කේන්තිය ඇතුළු මානුෂිය හැඟීම් අපි අවබෝධ කරගන්න ඕනෑ.

අපි කියන්නෙ නැහැ, මේ ඝාතන කරන පොලිස් හෝ හමුදා නිලධාරීන් තිරිසනුන්ය කියලා. හොඳ සහ නරක කියලා දෙපැත්තට බෙදෙනවාට වඩා මේ ලෝකය සංකීර්ණයි. ඒ නිසා තමන්ගේ සගයාව ඝාතනයට ලක්වීම ගැන වේදනාවෙන් සිටින පොලිස් නිලධාරීන්ට තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කරන්න පුලුවන් බව අපට පිළිගන්න වෙනවා. 

8 comments:

  1. සාක්ෂිකරුවන් නොමැතිව

    https://transyl2014.blogspot.com/2015/04/blog-post_12.html

    ReplyDelete
  2. ශ්‍රී වික්‍රම රාජසිංහ / විමලධර්මසූරිය හෝ කීර්ති ශ්‍රී රාජසිංහ වගේ උඩරට හිටපු රජ කෙනෙක් සුදු නායකයෙක් එක්ක කියපු කතාවක් තියෙනවා. කියපු කෙනා මතක නැතත් කතාව ඡායාවක් වගෙ මතකයි. ' ඔබ කරන්න කලින් කල්පනා කරනවා. අපි කල්පනා කරනකොට සියල්ල සිදුවී හමාරයි.' ඔන්න ඔහොම කතාවක් තමයි කියලා තිබුණෙ.

    ඔය කතාව වාර්තා කලේ කවුද?
    සුද්දද? එහෙනම් ඒක හොරාගේ අම්මාගෙන් සාත්තර ඇසීමක්.

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් කීවත් නැතත් ඒ කතාවෙ ඇත්තක් තියෙනවා. බොහෝවිට ඔබ හරි. මේක වාර්තා කලේ මට මතක විදියට ජෝන් ඩොයිලි. රජවරු එක්ක සමීපව කතාකරලා තියෙන්නෙ ඔහු.

      Delete