Saturday, June 23, 2018

කඳුකරයම කාමරයක

ජෙට්වින් ආයතනයට අයත් නුවරඑළිය වෝවික් වතුයායේ පවත්වාගෙන යන හෝටල් සංකීර්ණය තුල වතුකරයේ තේ දළු නෙලන ජීවිතවල සැබෑ අත්දැකීමක් ලබා දීම සඳහා "මීන අම්මාගේ ලයින් කාමරය" නමින් කාමරයක් නම් කිරීම සම්බන්ධයෙන් මුහුණු පොත සහ ට්විටර් මාධ්‍ය හරහා මහජනතාව කරනු ලැබූ විවේචනවලට ප්‍රතිචාරයක් ලෙස එහි ප්‍රධාන අධ්‍යක්ෂක හිරාන් කුරේ පවසා ඇත්තේ (https://www.facebook.com/jetwinghotels/posts/2030827963617564) ඇත්ත වශයෙන්ම මෙම කාමරය නම් කිරීමේ යෝජනාව එම වතු යායට ප්‍රධානව අවරුදු 12 ක් මෙහෙකාර සේවයේ නියැලුණු මීන අම්මා විසින්ම කල බවයි. 


මෙම සේවය ඔහු අගයන්නේ මීන අම්මා සිය ජෙට්වින් පවුලේ සාමාජිකයෙක් බව කීමෙනි. එනිසාම මෙම කාමරය මීන අම්මාට සැලකීමක් වශයෙන් නම් කර බව ඔහු කියයි. ඔහුට අනුව මීන අම්මාට තෝරාගැනීමේ අයිතියක් ඇත. ඇයගේ කැමැත්තට පෙර මෙවැනි දෙයක් කිරීමට ඔහු කිසි විටෙකත් නොසිතන්නට ඇති සෙයකි!. වතු කරයේ තේ දලු වෙනුවෙන් සිය ශ්‍රමය දිය කර හරින මීනඅම්මාට ජෙට්වින් ආයතනයට මෙන් සිය පැවැත්ම පිළිබඳ තීරණ ගැනීමේදී තෝරාගැනීම් තිබේද? අපගේ මුලික අදහස වන්නේ මෙවැනි මැදිහත්වීම් විසින් වතු කම්කරුවාගේ සිය පීඩාව පවා රෝමන්තිකකරණයට ලක් කර එය පවා විකිණීමේ නරුම ප්‍රාග්ධන සමුච්ච්නයකට මෙය කදිම උදාහරණයක් වන බවයි. 



එනම් වතු කම්කරුවාට සිය සුරාකෑම නවතාලීම සඳහා මැදිහත්වීමට ඇති සිය පීඩිතභාවයේ අනන්‍යතාවය පවා නව ව්‍යාපාර විසින් සුරා කෑමයි. එය ගෝලීය නව ලිබරල් ධනවාදයේ තවත් එක් මුහුණුවරකි. නැතහොත් දේශීය විඳවීම් ගෝලීයව සුරාකෑමට ලක් කිරීමකි. සංචාරක කර්මාන්තය තුල නිරන්තරයෙන් සිදු වන්නක් නම් පුද්ගලයන් සිය ශ්‍රමයෙන් මෙන්ම ඉඩම්වලින්ද අස්වාමිකරණයයි. වතු දෙමළ ජනයාට ඔවුනගේ ශ්‍රමයට අදාළ වැඩ බිම අහිමිකිරීම සහ ඔවුන්ව තවදුරටත් තමන් ජීවත්වන ප්‍රදේශවලින් පිටමන් කිරීම මේ තුල මුලිකව සිදු වේ. එනම් එම ජනතාවගේ විඳවීම දීර්ඝ කිරීමයි. එය යාවත්කාලීන කිරීමයි.



ජෙට්වින් ආයතනය මෙම රෝමන්තිකකරණය කරන ලද ලයින් කාමර විකුණන්නේ කාටද? ඔවුනගේ ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ සුදු මහත්වරු සහ නෝනාවරුය. මෙහි උත්ප්‍රාසය වන්නේ වතු කම්කරුවන් යන ජන කොට්ටාසය මෙරට ඇති කලේම මෙම විදේශීයන් වග වන රාජ්‍ය විසින් ක්‍රියාත්මක කල යටත්විජිත ව්‍යාපෘතිය විසින් වීමත් ඔවුන් විසින් ඉතිරි කර ගිය දුක්කිත ජීවිත මොඩ් කර එය නැවතත් විඳිමේ ඔවුනගේ ආශාව සන්තර්පණය කර දෙනු පිණිස දේශීය ව්‍යවාසයකයන් පිරිසක් නිර්මාණය කිරීමට ඔවුන් සමත්වීමත් යන කේදවාචකය අපිට එක විට මුණ ගැසීමයි. මීට වසර 200කට ඉහත ලංකාවේ දෙමල වතු කම්කරුවන් කියා පිරිසක් සිටියේ නැත. 1830 සහ 1930 අතර කාලය තුල උතුරු ඉන්දියාවෙන් කම්කරුවන් ලෙස මෙම දෙමළ ජනයා ගෙන එන්නේ ලංකාවේ බ්‍රිතාන්‍යන් විසින් ආරම්භ කල වතුවල සේවය කිරීමටය. එක් ස්ථානයක ප්‍රාග්ධන සමුච්ච්නය වෙනුවෙන් නිර්ධන පාන්තික ජනයා එනම් විකිණීමට ශ්‍රමය පමණක් ඇති ජනතාවක් ශ්‍රම සංක්‍රමණිකයන් ලෙස සේවයේ යෙදවීම යටත්විජිතවාදයේ මුලික හිංසනීය ව්‍යාපෘතිවලින් එකකි. හරියටම කිවහොත් මෙම වතු කම්කරු ජීවිතවල ඉතිහාසය වහලුන් ලෙස සංක්‍රමණය කල කළු ඇමෙරිකානුවාගේ ජීවන තත්වයට සමපාත වේ. ඔවුන්ව කම්කරුවන් ලෙස විනා අවම තරමේ රටක පුරවැසියන් ලෙසවත් හඳුනා ගත්තේ නැත.

ඇමෙරිකානු රාජ්‍ය ඉතිහාසයේ මුලික සුදු ඇමරිකානු පියවරු වහලුන් ලෙස සේවය කල කළු ජාතිකයා රාජ්ජ්‍ය පද්ධතියෙන් පිටත තැබුවෝය. මේ හුරුව අනුයමින් බ්‍රිතාන්‍යන්ද වතු දෙමළ ශ්‍රමිකයා රාජ්‍ය ආයතනික නීතිමය පද්ධතියෙන් පිටත තැබීම නුවණට හුරු සේ දකින්නට ඇත. ඇමෙරිකාවේ නම් ඔවුන් විශ්වාස කලේ වහල් සේවයේ යෙදුනු පිරිස් ඔවුන් සේවය කල දැඩි පීඩාකාරී පරිසර සමාජ තත්වයන් සමග මියැදෙනු ඇති බවත් එනයින්ම වහලුන් එරටින් තුරන් වනු ඇති බවත්ය. ජාතිකවාදී මුලයන් සහිතව ගෙන එන 1948 පුරවැසි පනත මගින් ඔවුන්ව නම් කරන්නේ ඉන්දියානු දෙමළ හෝ වතු දෙමළ ලෙස වන අතර ඔවුනට මෙරටේ පුර්ණ පුරවැසිභාවය ලබා නොදීම නිසා 1967 දී අවම වශයෙන් එම ජනගහනයෙන් සියයට 40ක්වත් නැවත උතුරු ඉන්දියාවට පිටත් කර හරී. වතු කර්මාන්තය මෙරට මුලික ආදායම්වලින් එකකි. එයට ශ්‍රමය දිය කරන්නේ මෙම ජනතාවය. එවැනි ජනතාවකට පුර්ණ පුරවැසිභාවය ලැබෙන්නේ 1970 දීය. එහෙත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් මින් වූ මහා සේවයක් නැත. කෙසේ වුවත් මෙම හිංසාකාරී සමාජ ඉතිහාසය විසින් ලයින් කාමරවලට සහ වතු කර්මාන්තයට සීමා කල (තේ වතු ආශ්‍රිතව සියයට 80 ක් පමණ සේවය සපයන්නේ මෙම දෙමළ ජනතාවය) මෙම ජනතාවගේ ජීවිත "අත්දැකීම්" පැකට් කර, මොඩ් කර විකිණීම ජෙට්වින් ආයතනයට ප්‍රාග්ධන සමුච්චනයට මාවතක් වී ඇත.

වතු දෙමළ ජනතාවගේ මුලික ජීවන කොන්දේසියක් නම් ඔවුන් ජීවත් වන්නේ තමුන් සේවය කරන වත්ත කළමනාකරණය විසින් සදා දුන් ලයින් කාමරවලයි. එය එක් පවුලක් සඳහා එක් කාමරයකි. බ්‍රිතාන්‍ය සමයේ ඒවා පිහිටුවන්නේ අක්කර සිය ගණනක වැඩ කරන ඔවුනට තාවකාලික නැවතුම් පොළවල් සඳහාය. එහෙත් ඒවා කිසිකලෙකත් වර්ධනය වුයේ නැති අතර ඒ වෙනුවට සිදු වුයේ ඔවුනගේ බන්ධිත සේවය ස්ථීර කිරීමේ මාර්ගයක් ලෙස එම ජනයා ඒ ප්‍රදේශවලට කොටු කිරීමට එම ලයින් කාමර බාවිතා කිරීමයි. රාජ්‍ය විසින් එම ජනතාව තම රටේ පුර්ණ පුරවැසියන් ලෙස නොසැලකීමත්, වතු කර්මාන්ත කළමනාකරණය විසින් ඔවුන්ගේ සමාජ හා ආර්ථික ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේදැයි සොයා නොබැලීමත් නිසා අවසානයේ රටට ඉතිරිව ඇත්තේ රටටම අමතකව ගිය, සමාජ, ආර්ථික හා දේශපාලන සාක්ෂරතාවයෙන් ඉතාමත්ම අඩු සමාජ කොටසකි. වෙළඳපොළට ජනතාව භාර කරන්න යැයි කෑ මොර දෙන පිරිස් අපට පැහැදිලි කල යුත්තේ වැඩිම අදායමක් ලබන මෙම ක්‍ෂ්ත්‍රයේ ශ්‍රමිකයාට මෙම ඉරණම අත් වුයේ ඇයිද කියාය.

ලයින් කාමරවල ජීවත් වන මෙම ජනයාගේ ජීවිත එම සන්ධර්භය විසින්ම තීරණය කොට ඇත. ප්‍රමාණවත් අධ්‍යාපන පහසුකම්, සෞඛය පහුසකම්, ජීවන පහසුකම් මේ කිසිවක් ඔවුනට නැත. බාල වයස් විවාහ, බාල වයසේ පාසල් හැර යාම, අධික මත්පැන් භාවිතය, මෙම ජීවිතවල මුලික තත්වයන් වෙති. මීට සහමුලින්ම ප්‍රතිවිරුධව ජෙට්වින් ආයතනය විසින් සදා ඇති මින්න අම්මාගේ ලයින් කාමරයේ කාමරයට යාබදව නාන කාමරයක්ද, පහසුකම් සහිත ඇඳක්ද, වතු යායේ මීදුම් සහිත චමත්කාරය විඳීම සඳහා විවේකි පුටුවක්ද, සීත සහ උණු වතුර පහසුකම්ද ඇත. මෙවැනි ලයින් කාමර ඇත්තේ එම වතුවල ජීවත්වන මිනිසුන්ගේ හෙට දවස වෙනුවෙන් ඇති අපේක්ෂාවේ පරිකල්පනීය මොහොත තුල මිස තුල ඇත්ත ජීවිතයේ නොවන බව ලයින් කාමරයකට පය ගසා ඇති ඕනෑම පුද්ගලයෙකුට පෙනුණු ඇත. එහෙත් ජෙට්වින් වැනි ආයතනවලටම පොදු වූ කාරණයක් ලෙසටම ඔවුන් කරන්නේ එම සිහින සොරා ගෙන විකිනීමයි. අපට අනුව නම් මීන අම්මාගේ වතු කර ජීවිතය යනු යමෙකුට විවේකයට විඳින්නට සුදුසු ජීවිතයක් නොව එම විවේකය යොදවා එය සමාජයෙන් අතුගා දැමීමට මැදිහත් විය යුතු වුවකි.

ජෙට්වින් ආයතනයේ ප්‍රධානි තැන මෙම මින්න අම්මාගේ ලයින් කාමර සංකල්පයට එල්ල වූ බොහොමයක් විවේචනවලට දැක්වූ ප්‍රතිචාරය---එය මීන අම්මාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කල බව---ඉතාමත් සාධාරණ යැයි මෙම අදහසට මුලින් විරුද්ධ වූ පිරිස් දක්වා තිබුණි. බොහෝ අය තම අසතුට පල කලේ "අයියෝ මේ කිසි දෙයක් වෙළඳ දැන්වීම තුල සඳහන් නොකළේ මන්දැයි" කියාය. ඇත්තටම මෙය වෙළඳ දැන්වීමේ ප්‍රශ්නයක්ද? මීන අම්මා මෙම අදහස පල කල පමණින් හිරාන් කුරේලා උපයන ප්‍රාග්ධනයෙන් මින්න අම්මාලාගේ ශ්‍රමයට නිසි මිලක් ගෙවනු ඇති බවට සහතික කරන්නේ කවරෙක්ද? අප දන්නා මින්න අම්මලාට තමන්ට පැවරුණු කාර්ය කිරීම හැර ඊට විරුද්ධව හඬක් නැගීමට තරම් තෝරාගැනීම් නැත. ඇත්තටම මීන අම්මලාගේ ජීවිත එක්කෝ ගෙවෙන්නේ වතු වලය. නැතහොත් සුඛෝපබෝගී ජීවිත ගත කරන කොළඹ නිවෙස්වල මිනිසුන්ගේ කුස්සියේය. මෙම නිවෙස්වල වාසය කරන පිරිස්වලට සිය ශ්‍රමය සැපයීමට ඔවුන්ව පුරුදු පුහුණු කර ඇත්තේ අද ඊයෙක නොවේ.

ඒ අනුව හිරාන් කුරේලා වැනි සුධීමතුන් ඇයගෙන් අපේක්ෂා කරන්නේ වතුවල ගෙවන ජීවිතයේ අත්දැකීම නොව වතුවල වැඩ කිරීමෙන් ලද පන්නරය එනම් වගතු නොකියා සේවය කිරීම හා කියන ඕනෑම දෙයක් කිරීමට දිගු කාලයක් පුරා ඇති කරන ලද ශික්ෂණයයි. හිරාන් කුරේ නම් පවසන්නේ තමන් මේ කරන්නේ "අඳුරට සාප කිරීම වෙනුවට එක පහනක් හෝ දැල්වීම" බවයි. ප්‍රශ්නය ඇත්තේ මේ පහනේ ආලෝකය විහිදෙන්නේ ඔහුගේ ආයතනය වටා මිස මීන අම්මලාගේ ජීවිත වටා නොවීමයි. ඔහු අමතක කරන්නේ මීන අම්මාගේ ලයින් කාමරය තැනීමට මුල් වූ හිංසනීය ඉතිහාසයයි. වෙනත් ලෙසකට කිවහොත් ඔහු නියෝජනය කරන පංතියේ හිංසනීය ඉතිහාසයයි.

ගීතිකා ධර්මසිංහ සහ ලක්මාලි හේමචන්ද්‍ර විසින් විමුක්ති ව්‍යාපාරය නියෝජනය කරමින් ලියූ ෆේස්බුක් සටහනක්...

2 comments:

  1. ලංකාවේ ජීවත්වන ඒකීය පුද්ගලයන් පිරිසකට "වතු දෙමළු" යනුවෙන් හංවඩු ගැසීමම වැරැද්දක්.

    ReplyDelete
    Replies
    1. කලයුත්තේ යම් මනුශ්‍යයන් පිරිසකට "වතු දෙමලා" ලෙස හංවඩු ගසා අනෙක් අයගෙන් වෙන්කර තැබීම නොව නිදහස් වෙළඳපොලක් තුල තම හැකියාවන් යොදා දියුනුවීමට ඉඩ හැරීමයි.

      "මීන අම්මාගේ ලයින් කාමරය" සංකල්පයේ වරදක් නෑ.
      ඒ වගේම කවුරු හරි "ප්‍රභාකරන්ගේ බංකරය" කියලා හෝටලයක් හදලා සල්ලි හම්බ කරනවා නම් ඒකෙත් වරදක් නෑ.

      තව දෙයක් කිව යුතුයි.
      1948 වන විටත් ඊනියා "වතු දෙමළුන්‍ට" මෙරට පුරවැසි කමක් තිබුනේ නෑ. 1948දී ඔවුන්ගේ පුරවැසිකම අවලංගු කලේ නෑ.

      Delete