Thursday, May 28, 2015

මනෝ ගනේෂන්ගේ රින්ගින් ටෝන් එක




මනෝ ගනේෂන් මහතාගේ නම ගෑවුණද මේ ලියන්නට සූදානම් වන්නේ දේශපාලනය ගැන සටහනක් නොවේ. දේශපාලනය අතරතුර ආ වෙනත් අදහසක් ගැන සටහනකි. ඒ ඊයේ මනෝ ගනේෂන් මහතාට දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවක ඔහුගේ කෝලර් ටියුන් එක ඇසෙද්දී ආ අදහස් පෙලකි.
උත්තරා උනික්‍රිෂ්ණන්

ඔහු ටෝන් එකලෙස යොදා ගෙන තිබුණේ උත්තරා උනික්‍රිෂ්ණන්ගේ (Uthara Unnikrishnan) අලග (Azhagu - Beautiful) නමැති ගීතයේ සංගීතයයි. එය පසුගිය වසරේ තිරගත වූ සෛවම් චිත්‍රපටියේ එන ගීතයකි.

සත්‍යජිත් මාඉටිපේ පසුගිය දිනෙක මෙම ගීතය සහ උත්තරා ගැන ලියැවුණු ලිපි කිහිපයක්ම ෆේස්බුක් වෙත හුවමාරු කර තිබුණි. මේ ගීතය වෙත මගේ වැඩි අවධානයක් යොමු වුණේ එතැනින්ය.
ගීතය ගයන උත්තරා අවුරුදු දහයක දැරියකි. ඈ මෙම ගීතය වෙනුවෙන් ඉන්දියාවේ ගෞරවණීයම සිනමා සම්මාන උළෙල වන ඉන්දීය ජාතික සම්මාන උළෙලේ හොඳම ගායනය සඳහා සම්මානය දිනා ගත්තාය. ඒ එම සම්මානය දිනාගත් ළාබාලතමයා ලෙසය. ඒ ශ්‍රෙයා ගෝෂාල් වැනි දක්ෂ ගායිකාවන් රැසක් පසු කරමින් ය. 
ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජි අතින් සම්මානය ගත් මොහොත
උත්තරා යනු ගායක පී. උනික්‍රිෂ්ණන්ගේ දියණියයි. ඔහුද ගායනය වෙනුවෙන් ඉන්දීය ජාතික සිනමා සම්මානය දිනූ පුද්ගලයෙකි.
අලගු ගීතයේ සංගීතය ප්‍රකාශ් කුමාර්ගෙන් ය. පද රචනය මුත්තුකුමාර්ගෙනි. ඔහු මෙම සම්මාන උළෙලේම හොඳම පද රචනය වෙනුවෙන් සම්මානය දිනා ගත්තේ ය.
සටහන ලීවේ ඒවා කියන්නට නොවේ. උත්තරා නමැති පුංචි දිව්‍යාංගනාවගේ ගායනය ගැන කියන්නටය. එය සැබැවින්ම දිව්‍ය ගායනාවක් වැනිය.  සෛවම් චිත්‍රපටියද බලන්නට වටින රසවත් චිත්‍රපටියකි.
සිංදුව තනිව නිහඬව අසන්න. කුඩා දැරිය දකින සුන්දරත්වය භාෂාව දන්නා අයටද නොදන්නා අයටද දැනෙන්නට ගයන ආකාරය. (අලග කියන්නේ සුන්දරත්වයට, ගීතය කියන්නේ සුන්දරත්වය ගැන) දැන් ලංකාවේ බිහිවන තරුණ ගායක ගායිකාවන්ටවත් මේතරම් පරිණත විදියට ගයන්න බැරි බව සිතේ. ලංකාවේ ළමා ගීත සාහිත්‍යය බිංදුවටම වැටී ඇති නිසා ඒ ගැන නම් කතා කර පලක් නැත.
කොරන්නට දෙයක් නැති නිසා අප ඉන්දීය නිර්මාණ වත් රස විඳිමු.

ගීතය මෙතනින් අහන්න

7 comments:

  1. කොහොමත් අපේ සිංදු කාරයෝ ගොඩ දෙනෙක් ඉන්දියාවේ ළමුන්ටත් පස්සෙන් තමා ඉන්නේ

    ReplyDelete
  2. ළමා සාහිත්‍ය ගැන කතාබහක් ඇති වෙන්න ඕන

    ReplyDelete
  3. ගායනය පමණක් නොව සංගීතයද කන්කළුය. අපට එදිනෙදා අසන්නට නොලැබෙන මනහර නාදයන් කිහිපයක්ම පසුබිමින් අසන්නට ලැබෙයි. ඒ අතරින් මා වඩාත් සිත් ගත්තේ මද්දලයේ හඬට ආසන්න හඬයි. එය බොහෝවිට දකුණු ඉන්දීය ම්රිදන්ගම් (mridangam) නමැති බෙරය විය යුතුය.

    ගීතය කොතරම් සිත් ගත්තේද යත්, සංගීතය ගැන මනා දැනුමක් ඇති අයෙකුට මේ ගීතය අසන්නට සලස්වා වැඩි අදහසක් ගැනීමට සිතා ගතිමි. මේ ගැන ලිව්වාට ස්තුතියි!

    ReplyDelete
  4. ඇත්ත. ප්‍රතිචාර නිසා මම මේ ගැන රාවයටත් ලීවා

    ReplyDelete