Thursday, June 02, 2016

රාවය මහේස්ත්‍රාත් ජිනීවා දෙමළ ජනතාව යුක්තිය හා අලිහොරු ඇතුළු තවත් දෑ

අද රාවය පිටවුණේ තීරණාත්මක හෙඩිමක් එක්ක. සුළු සාකච්ඡාවකට පස්සෙ දෙගිඩියාවක් නැතිවම කර්තෘ මණ්ඩලය හෙඩිම තීරණය කළේ අධිකරණයේ අසූචි තැවරූ විනිසුරු ආරක්ෂා කරන්න තවත් විනිසුරුවරයෙකු පෙනී සිටීම ගැන තීරණාත්මක විරෝධයක් පළ කළ යුතු නිසා.

කතාව ඒ ගැන නෙවෙයි.




පහුගිය සතියේ මාධ්‍ය වාර්තා කර තිබුණා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ලංකාව එකඟ වුණ පොරොන්දුව කඩලා දේශීය විනිසුරුවරයන් විතරක් යොදාගෙන යුධ අපරාද පිළිබඳ පරීක්ෂණය කරන බව. ලංකාවේ ආණ්ඩුව පොරොන්දු වුණේ දේශීය හා අන්තර්ජාතික විනිසුරුවරුන් ඉන්න මිශ්‍ර අධිකරණයකින් මේක කරනව කියල.


දේශීය අධිකරණයකින් කරන්න බැරි ඇයි? උත්තරේ බොහෝවිට මේ පෝස්ට් එකට වැටෙන කමෙන්ට් ඇසුරින්ම පෙන්නන්න පුළුවන් වෙයි. ලංකාව කොච්චර ජාතිවාදී වලක වැටිලා ඉන්නවාද?? වෛද්‍ය වෘත්තිකයන්, නීති වෘත්තිකයන්, දේශපාලඥයන් විතරක් නෙවෙයි අපිත් ජාතිවාදී වලක වැටිලා ඉන්නේ.

(අපි හැමෝම විතරක් නෙවෙයි මුළු ලෝකයම ජාතිවාදී ආගාධයක ඉන්නෙ. ඇමරිකාව වපුරන්නේ අමු ජාතිවාදය. ඒ ජාතිවාදය මතින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේදී ස්කෝ කරනව. මුස්ලිම් ජාතිවාදය, රුසියානු, උතුරු කොරියානු හැම තැනම ජාතිවාදය ලේ ගංගා එක්ක ගලනව.)

ලංකාවේ විනිසුරුවරුන් බහුතරය සිංහල බෞද්ධ ජාතිවාදය ඇතුලේ ඉන්න අය. අනිත් එක මධ්‍යස්ථව නෙවෙයි පෞද්ගලික ආකල්ප හා බැඳීම් එක්ක තීන්දු දෙන අය. සරත් සිල්වාගේ කතාවක් බලන්න.. එයා කොච්චර පෞද්ගලික ආකල්ප එක්ක තීන්දු දෙනවාද? මොහාන් පීරිස් බලන්න. ඒව ඔක්කොම නෙවෙයි මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න දුන්න තීන්දුව බලන්න.


හැමෝම දන්න විදියට අදිකරණ පද්ධතියේම ගූ ගාපු තිළිණ ගමගේට ඇප ලබාදීම අධිකරණය මොනතරම් වලක වැටී ඇති බව ඔප්පු කරනවාද?

මෙහෙම අධිකරණයකින් යුක්තිය ඉටුවෙයි කියලා දෙමළ ජනතාව විශ්වාස කරාවිද?


දෙමළ ජනතාව කියන්නේ මධ්‍යස්ථ පරීක්ෂණයක් කරන්න කියලා විතරයි. මධ්‍යස්ථ. අන්තර්ජාතික වශයෙන් මධ්‍යස්ථ විනිසුරුවන් හොයාගැනීම අපේ වැඩක්. ලෝකයේ එහෙම අය ඕනතරම් ඉන්නවා. ඉන්පසුව දඬුවම් දීම අප විසින් කළ යුතු වැඩක්.


මධ්‍යස්ථ විමර්ශණයක් කරන්න බැරි ඇයි? අපරාධ කර ඇති බව ඔප්පු වෙන නිසා නේද?


පහත තියෙන්නේ රාවයේ එක ළඟ පළවූ ප්‍රවෘත්ති දෙකක්. ඒ දෙක එකිනෙකට කොයිතරම් ගැලපෙනවාද?



කට්ටි පැන්න මහේස්ත‍්‍රාත් භාරවෙයි. හිතවත් මහේස්ත‍්‍රාත්ගෙන් ඇප
- අරුණ ජයවර්ධන-

නීති විරෝධී ලෙස කැළයෙන් අල්ලා ගන්නා ලද අලි පැටියකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් නොවී දින 20ක පමණ කාලයක් අතුරුදන්ව සිටි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ජුනි 2 වැනිදා ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට භාරවූ අතර, ඔහු ඇප මත මුදාහැරීමට මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න තීරණය කළේය.

සැකකාර මහේස්ත‍්‍රාත්වරයාට පොදු දේපළ පනත යටතේ චෝදනා නැගීමට ප‍්‍රමාණවත් සාක්ෂි තිබෙන බැවින් ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා සීඅයිඞීයට උපදෙස් දී තිබුණු නමුත් ගංගොඩවිල මහේස්ත‍්‍රාත්වරයාගේ තීරණය වූයේ අලි පැටියා පොදු දේපළ පනත යටතට නොවැටෙන බවය. ඒ අනුව රුපියල් ලක්ෂ 25ක පෞද්ගලික බැඳුම්කර හතරක් හා ලක්ෂ 5ක මුදල් ඇපයක් මත සැකකාර මහේස්ත‍්‍රාත්වරයා මුදාහැරිණි.

ඇප ලබාදීම සම්බන්ධව මහේස්ත‍්‍රාත්වරයා සිය තීරණය දුන්නේ සවස 6.45ට පමණ වන අතර, ඉන් පැය භාගයක වැනි කාලයක් තුළ තිළිණ ගමගේ මහතා ඇපද තැන්පත් කර අධිකරණ භූමියෙන් පිටව යනු දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් සිදු නොවන පරිදි අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා මෙදින සවස 7 දක්වාද සේවයේ යෙදී සිටිනු දක්නට ලැබීම විශේෂය.

ඇප විමසීම ආරම්භයේදීම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහේස්ත‍්‍රාත්වරයා අමතමින්, ‘ඔබතුමාට සැකකාර මහේස්ත‍්‍රාත්වරයා සමග රාජකාරිමය සම්බන්ධතාවක් පමණක් තිබේ නම් ගැටලූවක් නැති නමුත් කිසියම් හෝ පෞද්ගලික සම්බන්ධතාවක් තිබේ නම් මේ විමසීම ඔබ විසින් කිරීම සුදුසුදැයි තීරණය කරන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් විමසීම දිගටම කිරීමට මහේස්ත‍්‍රාත්වරයා කටයුතු කළේය. ගංගොඩවිල මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න හා සැකකාර මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ සමීප මිතුරන් බව නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධය.

මේ නිසාමදෝ මෙම විමසීම මුලින් විභාගයට ගැනුණු මැයි 30 වැනිදා තමා මේ විමසීම කරනවාට විරෝධයක් ඇත්දැයි මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න විවෘත අධිකරණයේදී විමසූ අතර ඒ පිළිබඳ තීරණය කරුණු සලකා බලා ඔබතුමාම ගන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පිළිතුරු දී තිබුණි.

ප‍්‍රකාශයක් සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී දින 20ක් ගතවනතුරුත් තිළිණ ගමගේ මහතා ඊට ඉදිරිපත් නොවී කට්ටි පනිමින් සිටි අතර, සීඅයිඩියේ කණ්ඩායම් දෙකක් ඔහු සෙවූ නමුත් සොයාගැනීමට ලැබුණේ නැත. එහෙත් ඔහුගේ නිවසට දිගින් දිගටම පොලිස් ආරක්ෂාව යොදා තිබෙනු දක්නට ලැබිණි.

දේශීය විනිසුරුවන් විශ්වාසය පළුදු කිරීමක්
- තරිඳු උඩුවරගෙදර -

ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබඳව ශ‍්‍රී ලංකාව විසින් පැවැත්විය යුතු ස්වාධීන පරීක්ෂණය සඳහා දේශීය විනිශ්චයකාරවරුන් පමණක් පත් කළ යුතුයැයි ආණ්ඩුව විසින් ගෙන ඇතැයි කියන තීරණය ආණ්ඩුව පිළිබඳව දෙමළ ජනතාවගේ විශ්වාසය අහිමි කරගැනීමට හේතුවනු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසයි.

ආණ්ඩුව විසින් එවන් තීරණයක් ගෙන ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා පළකර තිබුණු අතර ඒ පිළිබඳව විපක්ෂ නායකවරයාගෙන් රාවය කළ විමසීමකදී ඔහු එසේ පැවසීය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේදී ඉදිරිපත් කෙරුණු විමර්ශන කමිටු වාර්තාවක් අනුව අදාළ අපරාධ චෝදනා පිළිබඳව මිශ‍්‍ර අධිකරණයකින් කරන විමර්ශනයකින් පසු වරදකරුවන්ට දඬුවම් ලබාදීමට ආණ්ඩුව එකඟ වී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මධ්‍යස්ථ හා ස්වාධීන පරීක්ෂණයක් ලංකාවේ අධිකරණයකට තනිව කළ නොහැකි බව ජාත්‍යන්තර මතය වී ඇතැ’යි සම්බන්ධන් මහතා පෙන්වා දෙයි. ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීනව පැවති නමුත් රාජපක්ෂ පාලන සමයේදී ඒ විශ්වාසය නැති කරගත් බවත් ආණ්ඩුව වෙනස් වුවත් තවමත් අධිකරණය ගැන විශ්වාසය තැබිය නොහැකි බවත් ඔහු කීවේය. දෙමළ ජනතාව තුළද දේශීය අධිකරණයකින් ලබාදෙන තීන්දුවක් පිළිබඳව විශ්වාසයක් නැති බව ඔහු කීය.

මිශ‍්‍ර අධිකරණයක් සකස් කරන බව පොරොන්දු වුණේ ආණ්ඩුවම බවත් එම පොරොන්දුව ඉටු කිරීම වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මිශ‍්‍ර අධිකරණයකින් කුමන තීන්දුවක් ලබා දුන්නද එම තීන්දුව අනුව කටයුතු කිරීම ජාත්‍යන්තරව නොව දේශීය වශයෙන් කළයුතු බවත් දේශීය වශයෙන් එක්ව මෙම ප‍්‍රශ්නය විසඳා ගතයුතු බවත් ආණ්ඩුව තවමත් නිල වශයෙන් තීරණයක් ගෙන නැති නිසා අදහස වෙනස් කරගැනීමට තවමත් ප‍්‍රමාද නැති බවත් ඔහු කීය.
කෙසේ වෙතත් අප විසින් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කීවේ දේශීය විනිසුරුවන් යොදා ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තීරණය කර තිබෙන බවයි.

13 comments:

  1. අපි එදා සිඑට කිව්වේ එෟක තමයි ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍ය බව

    ReplyDelete
    Replies
    1. ඇපදීමට විරුද්ධව නිතිපතිට ඉහල අධිකරණයකට ගිය නොහැකිද? ඉල්ලුවේ අපේක්ෂිත ඇපයක් නොවෙද? එම ඇප අවලංගු කල නොහැකිද?

      Delete
    2. ඇපදීමට විරුද්ධව නිතිපතිට ඉහල අධිකරණයකට ගිය නොහැකිද? ඉල්ලුවේ අපේක්ෂිත ඇපයක් නොවෙද? එම ඇප අවලංගු කල නොහැකිද?මෙය කල්මැරීම සදහා යොදාගත් හොද උපක්‍රමයක්?මට හිතෙන විදිහට ඉහල අධිකරණකට ඉල්ලීමක් කිරිමම, ඒ හරහා දිර්ඝ දිනයකට යාහැකි වෙනවා.

      Delete
  2. සම්පන්තන් කියලා තියෙන එක සහතික ඇත්ත... බඩු කාරයෝ... රේප් කේස් කාරයෝ.. අලි හොරු ඉන්න අධිකරණයක් කාටද බං විශ්වාස....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සම්පන්තන් කියන දේ ඇත්ත හැබැයි විමල් වීරවංශ කියන හැම දේම බොරු මොකද ඌ සිංහලනේ ඒකයි.
      මාතලන්ට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාව. (වෙන කෙනෙක් කිව්වේ.)

      Delete
  3. අපරාදෙ....
    කඩුවෙල අදිකරනෙට නේ ඉදිරිපත් කොරන්න තිබුනේ....

    ReplyDelete
  4. අලියට නඩු දාන්ඩ තිබ්බෙ....ඌ බලෙන්නෙ මහේශාත්ගෙ වත්තට රිංගල තියෙන්නෙ:)

    ReplyDelete
  5. යාළු නිළමෙලා දොරඇර දුන්නාය !

    ReplyDelete
  6. හැම තැනම ජාතිවාදය ලේ ගංගා එක්ක ගලනව.+++++++

    ReplyDelete
  7. දැන් ඉතින් කසිප්පු නඩුවකටත් පොදු රාජ්‍ය මණ්ඩල විනිසුරුවන් ගෙන්විය යුතුයි.

    ReplyDelete