Wednesday, July 15, 2015

මෛත්‍රී ෂුවර්ද? රනිල් ගොඩද? වැඩ්ඩා කවුද?



නිවී හැනහිල්ලේ මෛත්‍රීගේ කතාව බැලුවේ දැන් ය. මෛත්‍රීගේ කතාවෙන් පසු හිතෙන දේවල් ටිකක් ලියන්නට සිතුණි. මෛත්‍රී කළ කතාවෙහි ගතයුතු දේවල් තිබුණි. ඔහු වැදගත් කතාවක් කර තිබුණි. ඔහුට පහර දෙන්නටත් අගය කරන්නටත් කට්ටිය ඉන්නා නිසා කතාවේ තැන් කිහිපයක් ගැන සිතට ආ වෙනස් අදහසක් ලියන්නට සිතුණි.
 
මම දුන්නු නිදහස වල් බූරු නිදහසක් කරගන්න එපා යැයි මෛත්‍රී කතාව අවසාන හරියේ කීවේය. සටහන් පටන් ගන්නට හිතෙන්නේ ඒ ගැන පශ්චාත්ශාගයෙන් සිනාසෙමින්ය.

ජනවාරි අටවෙනිදා සිදුවූයේ කුමක්ද? ජනාධිපතිවරයා එය නිවැරදිව කියවාගත යුතුය. මෛත්‍රීපාල සිරිසේන අපට නිදහසක් දුන්නායැයි අපි කිසිසේත්ම නොසිතන්නෙමු. මෛත්‍රී ඒ මොහොතේ වඩා වාසිදායක ඩීල් එකකට එක්වෙමින් ඒ වන විටත් ගොඩනැඟී තිබූ මහින්ද විරෝධී සටනට එක්වූවා පමණකි. (එතැනදී ඔහු ගත්ත පියවර හැමදාම අගය කරනවා. ඒක නෙවෙයි අවුල) 

ජනවාරි අටවැනිදාට පෙර මහින්දට විරුද්ධව මෙලෙස කතා කරන්න නිදහසක් තිබුණේ නැතැයි යන්නද අර්ධ සත්‍යයකි. අවශ්‍ය නිර්භීතභාවය තිබුණේ නම් ජනවාරි අටට පෙර වුව මහින්දට විරුද්ධව කතා කරන්නට තිබුණි. එසේ කතා කළ මාධ්‍ය සහ පුද්ගලයන් සිටියේය. ගෞරවය හිමිවිය යුත්තේ මෛත්‍රී ශ්‍රීලනිප ලේකම් ලෙස මහින්ද රජෙක් යැයි කියද්දී, මහින්දව වැළඳගනද්දී ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන බලාපොරොත්තු තබාගෙන මහින්ද පරදින්නේයැයි සේයාවක් වත් නැති කාලයක සිට සටන් කළ අයටයි.

මෛත්‍රීගේ කතාව දෙස උපේක්ෂාවෙන් බැලිය යුතුය. (වෙනද වගේ නැතිව හැකිතරම්  සැර බාල කරල ලියන්න බලන්නේ) මෛත්‍රී මැන්ඩෙලා හෝ ගාන්ධි නොවන බවත් අප සිහිතබාගත යුතුය. එය දේශපාලන උපාය උපක්‍රම වැරදුණු පසු ඔහුට බැණවදින පිරිසට පිළිතුරු දීම සඳහා අටවාගත් හොඳ පිළිතුරක් ලෙස සිතිය හැකිය.

මෛත්‍රී පිළිබඳ කතාබහෙන් රනිල් සහ එජාපය ගොඩ යයිද? 

මේ වන විට  එජාපය ගැන එළියේ කතාබහක් නැතිය. සියල්ලම මෛත්‍රි සහ මහින්ද ගැනය. එජාපය දින සීයේ පොරොන්දු නිවැරදිව ඉටු කළාද? මහබැංකු බැඳුම්කර සිද්ධියේදී සහ එජාපයට ආ චෝදනා වලින් එජාපය නිදහස්ද? එජාපයේ ලැයිස්තු කන්‍යාභාවයෙන් යුතුද? රනිල් මෛත්‍රීගේ ඉල්ලීමද නොතකා අර්ජුන් මහේන්ද්‍රන්ව ආරක්ෂා කර තිබේ. ජනතාව මේවා ගැන කල්පනා කළ යුතුය.

මහින්ද මාර ගේමක් ගැහුවා යැයි සතියකට කලින් කීය. මෛත්‍රීගේ කතාවෙන් පසු මෛත්‍රී මාර ගේමක් ගැහුවා යයි කියති. පැත්තක ඉඳන් රනිල් මාර ගේමක් ගැහුවා කියාද කිව හැකිය. මේ අතරින් වැඩ්ඩා කවුදැයි අපි විමසන්නෙමු. වැඩ්ඩා කවුරු වුණත් වැඩ දාන්නේ මහජනතාව වෙනුවෙන් නොවේ. හැම මොහොතකම සිහතබාගත යුත්තේ එයයි. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක අපේ ගැලවුම්කාරයා ඇතැයි සිතා සිටීම අමු ගොන් කමකි. ඒ ගොන්කම 94දීද කළෙමු.

මෛත්‍රීගේ කතාවෙන් පසුවද කියන්නට තියෙන්නේ පරණ කතාවමය. දේශපාලනය කරන්න. දේශපාලඥයන් විස්වාස නොකරන්න.

3 comments:

  1. මේ විවරණය දෙසත් බැලිය යුත්තේ මධ්‍යස්ථවය. මධ්‍යස්ථව ලියන බව කියමින් මහෙය ද එක අන්තයකට යෑමට උත්සාර කර ඇති සැටි පෙනෙයි. ජනවාරිට වැනි දා ට පෙර නිදහස තිබුණේ නැතැයි කීම අර්ධ සත්‍යයක් බව උඩුවා කියයි. එය අර්ධ සත්‍යයක් නොවන සියයට සියයක් සත්‍යයය. එසේ නිදහසක් තිබුණා නම් ජනරංජනට රහස් පොලිසියට යන්නට වෙනවාද? මාධ්‍යවේදීන් රැසකට රටින් පනින්නට වෙනවාද? ප්‍රදිප් එක්නැලිගොඩ අතුරුදන් වෙනවාද? ලසන්ත ඝාතනය වනවාද? කතාව කීවේ මෛත්‍රී පමණින් සියල්ල ප්‍රතික්ෂේප කළ යුතු හෝ පිළි ගත යුතු නැත.
    මම දුන්නු නිදහස වල්බූරු නිදහසක් කර ගන්න එපා යැයි ජනපතිගේ කීමට උඩුවාට පශ්චාත් බාගයෙන් සිනා යන බව කියයි. මෛත්‍රී ජනපති කරවූයේ සියලු සංවිධාන එකතුවී බව සත්‍යයකි. මෛත්‍රී එතැනදී එක චරිතයක් පමණක් බව ද සත්‍යයකි. සියලු බලතල සහිත විධායක ජනාධිපති පුටුවට පැමිණි දා පටන් මහින්ද රාජපක්ෂ ලෙස ඔහුට ද කටයුතු කළ හැකිව තිබිණි. රාජපක්ෂගේ සුපුරුදු මර්ධනය මෛත්‍රීටද ඉදිරියට ගෙන යෑමට හැකියාව තිබිණි. එසේ වූයේ නැත. වෙබ් අඩවි වාරණය ඉවත් විය. ෆොන් ටැප් කිරීම නැවැතිණි. තවත් බොහෝ දෑ විණි. ඒ සියල්ල කළේ මෛත්‍රී යැයි පිළිගැනීමට අප පැකිළෙන්නේ මෛත්‍රී ජනපති කරවීමට බොහෝ අය වෙහෙසුන නිසාය. එසේ කියා මෛත්‍රී ජනපති වීමෙන් පසු ඔහු කළ දෑ පිළි ගැනීමට ද නිහතමානී විය යුතුය.
    මෛත්‍රී යනු සර්ව සම්පූර්ණ හොඳ පුද්ගලයෙකියි මේ ප්‍රතිචාරයෙන් වැරදි වැටහීමක් ද නොගත යුතුය.

    ReplyDelete
  2. තරිඳු කියන එකට මාත් එකඟයි. රාජපක්ෂ ආණ්ඩුව කාලේ නිදහස සැහෙන්න අඩුයි. ජවිපෙ , පෙරටුගාමී සමාජවාදීන් වගේ පක්ෂ ආණ්ඩු විරෝධී කතා කීවට හුඟක් මාධ්‍යවේදීන් බයේ හිටියේ.

    ReplyDelete
  3. අප කුමන කතාවක් අද කීවද, එදා ඔය කියන තරම් නිදහසක් නම් තිබුනේ නැත. බොහෝ දෙනා සටන් කලා යැයි කීවද බොහෝ දෙනා සිටියේ ස්වයං වාරණයක බව අප සිහියේ තබා ගත යුතුය.

    ReplyDelete