Sunday, June 24, 2018

සනුකගේ චාඕ මල්ලී

සනුකගෙ අලුත්ම සිංදුව තමයි චාඕ මල්ලි කියන්නෙ. දැනටමත් බොහෝ අය සිංදුව අහලා ඇති. ඉතාලි පිස්සුව ගැනයි සිංදුව තියෙන්නෙ. මේක ලංකාවෙ පළවැනි ඉතාලි සිංදුව නොවන බව දන්නවානෙ. සල්ලි පොකුරු මිල්ලෙ අහුරු සහ පිටරට විස්තර මෙව්වා වගෙ සිංදු මීට කලින් යුරෝප පිස්සුව ගැන හැදිලා තියෙනවා. දැන් ඉතාලියට වඩා කොරියන්, ජපන් පිස්සුව වැඩිවෙලා තියෙන බව ඇත්ත. ඒත් තාමත් ඉතාලි පිස්සුව හැදුණ කොල්ලො කෙල්ලෝ ඕනෑතරං ඉන්නවා. මොනවා කරන්නද? අවස්ථාවක් නැති කරුම දේශයක කොල්ලො කෙල්ලොන්ට ඒ වගෙ පිස්සු හැදෙන එක සාධාරණයිනෙ.








චාඕ මල්ලි සිංදුවට අපි කැමතිවෙන්න පළවැනිම හේතුව තමයි සනුක තමන්ම හදන රැල්ලකටවත් නොයන බව මේ සිංදුවෙනුත් පෙන්වීම. සනුක තමන්ගෙ එක සිංදුවකට හිට් එකක් ලැබුණාම තවත් ඒ වගෙම සිංදුවක් කරන්න උත්සාහ නොගන්නා බව පැහැදිළියි. සරාගයේ ජනප්‍රිය වෙද්දී ඔහු කලේ පෙරවදනක් සිංදුව. පෙරවදනක් කියන්නේ ටිකක් මන්දගාමී, ඛේදජනක කතාවක් රැගත් ගීයක්. ඒක අපූරුවට ස්කෝ කළාට පස්සෙ දැන් ඔහු අපට අහන්න දීලා තියෙනවා විනෝදය මුසු වෙච්ච සිංදුවක්. ඒ වගේ නූතන සිංදු රැසක්ම ලියපු මනුරංග විජේසේකර තමයි ඒ සිංදුව ලියලා තියෙන්නෙ. මේක ගායකයෙක් ගන්න ඕනෑ අපූරු වෙනසක්. එකිනෙකට වෙනස්, රසවත් ගීත එකතුවක් කරන්න උත්සාහ ගැනීම අපූරු වැඩක්.

පරිගණකමය සිංදුව සනුකගේ කටහඬ එක්ක අපූරුවට ගැලපෙනවා කියලා පළවැනි සිංදුවේ ඉඳන්ම අපි දැනගෙන හිටියා. මේකත් ඒ ලෙවල් එකේ අපූරු සංගීත රචනාවක්. සනුක හොඳ සංගීත නිර්මාණ ශිල්පියෙක්. ළහිරුගේ ස්ටුඩියෝ එකේ පහසුකම් එක්ක සනුක ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයේ භාවිතාව වෙනස් කරන විදියේ වැඩ කරනවා.

සනුක ඇතුළු නූතන සුභාවිත ගායක පරපුරට චෝදනාවක් විදියට නැතිව යෝජනාවක් විදියට යමක් කියන්න ඕනෑ...

ගීතයේ පදවැල් නම් මීට වඩා ශක්තිමත් වෙන්න තිබුණා. මනුරංග කියන්නේ නිර්මාණශීලී වචන අපට දීලා තියෙන රචකයෙක් තමයි. හැබැයි චාඕ මල්ලි සිංදුවේ වචන ඒ තරම් අපූරු විනෝදයක් උත්පාදනය කරන්නෙ නෑ. ඒ නිසා තමයි මේ සිංදුව තදින්ම අපේ කන් වල නොරැඳෙන්නට හේතුවක් තියෙනවානම් හේතුව. හැබැයි මේ අත්දැකීමෙ ඉන්න කට්ටියට නම් මේ සිංදුව අපූරු ගීයක් වේවි.

එහෙම නොවන අයට මේ වචන එක්ක ගැටගැහෙන්නෙ නෑ. සනුකගෙ ගීතවල තියෙන දුර්වලතාවය විදියට අපි දකින්නෙ වචන. වචන එකතුවට පුලුවන් හොඳ තනුවක් නැති ගීයක් වුණත් හැමදාම මතකයේ තියාගන්න. ආදරේකින් හිත කිතිකැවෙද්දී අහන්න. නැත්නම් වේදනාවෙන් හදවත හඬ වැටෙද්දී අහන්න. අපි තවමත් බොහෝවිට සැබෑ ජීවිතයෙ විරහව වේදනාව සතුට එක්ක ගැටගහගන්නෙ ඕල්ඩ් ස්කූල් සිංදු. හේතුව ඒවායේ වචනවල තියෙන රහ. ඒ ගැන සනුක වගේ අතිදක්ෂයො තවත් කල්පනා කරන්න ඕනෑ.

සනුකලාගේ සිංදුවල තියෙන වචන ලංකාවෙ තියෙන බොළඳ සිංදුවලට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්න බව ඇත්ත. ඒත් සිංදුවක වචන කියන්නේ ඊටත් වඩා දිව්‍යමය තැනක තියෙන්න ඕනෑ වැඩක්. අපේ දැඩි අදහස තමයි සනුක වගේ අපේ පරම්පරාවෙ දක්ෂ ගායකයෝ තමන්ට වචන හොයාගෙන යන්න ඕනෑ ඕල්ඩ් ස්කූල් ගායකයො ගිය තැනටම. අමරදේවලා, කපුගේලා ගිය තැනටම. ඒ තමයි ලංකාවෙ ඉන්න දක්ෂ කාව්‍ය රචකයො.

මේ කවියන්ගෙ කවියක රහ විඳලා බලන්න ඕනෑ. අන්න ඒ ලෙවල් එකේ දිව්‍යමය රහක් වචනවල තියෙන්න ඕනෑ. ශමිල සිරිවර්ධනගෙ ඩ්‍රම්ස් අපූරුවට ගීතයට ගැලපෙනවා. ශමිල කියන්නෙ තමන් සාමාජිකත්වය දරණ ඩැඩී කණ්ඩායමටත් අපූරු වර්ණ එකතු කරන්න සමත් වුණ දක්ෂ ඩ්‍රම්ස් ශිල්පියෙක්. ඔහු තමන්ගෙ හැකියාව ඩ්‍රම්ස් වාදනයෙන් පෙන්වනවා. මේ වගෙ ටෙක්නිකල් සහායක් ගීතවලට දෙන ශිල්‍පියෝ බෝහෝවිට ඇගයීමට කල්වෙන්නෙ නෑ. ඉතින්, ශමිලට අපි සැලියුට් එකක් දෙනවා.

කොහොම වුණත් චාඕ මල්ලි සිංදුව සනුකගේ සම්භාවනීය සහ සුභාවිත ගීත චාරිකාවේ අපූරු නැවතුමක්. මේ සම්භාවනීය සහ සුභාවිත කියන වචන යෙදුවේ දැනුවත්වමයි. දැන් කලින් පරම්පරාවෙ අයට මේ වචන යෙදුවා ඇති. පරක්කු වෙන්න කලින් අපේ පරම්පරාවෙ දක්ෂයන්ටත් මේ වචන පාවිච්චි කරමින් අැගයුමක් දෙන්න ඕනෑ.

සුභපැතුම් සනුක.....

2 comments:

  1. අනිවා එකඟයි. ඩැඩී, සනුක වගේ වැඩක් කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නෙ මටත් හිතෙන විදියට ගී පද. හැබැයි රිද්ම වීරවර්ධන මේ අභියෝගය ජයගත්ත කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. මම නම් වැඩිපුර කැමති මිහිඳුගෙ වචන වලට

      Delete