Thursday, December 01, 2016

තවත් බස් කතාවක්


අද අප්පච්චිලා ස්ට්‍රයික්. ගෙදරට වෙලා ඉන්නෙ. මමනං ඉස්කෝලෙ ආව. සීටීබීයෙක්ක. මං දැක්ක පේස්බුක් එකේ අප්පච්චිලට බයිනව. ඇමෝම. පන්තියේ ටීචත් බැන්න. යාලුවොත් බැන්න.
 
අප්පච්චිලා පාරෙ නීති කඩන්න ඉඩ දෙන්න කියලලු ස්ට්‍රයික් කරන්නෙ.

ඇත්ත තමා. අපපච්චිල ස්ට්‍රයික් කරන්නෙ නීති කඩන්න කියල තමා.

අප්පච්චිලට ඒක ස්ට්‍රයික් කරල ඉල්ලගන්න වෙලා. ඒ අයිතිය. 


අප්පච්චිලා ස්ට්‍රයික් කළත් සමහර අයට ඒක ස්ට්‍රයික් කරලා ඉල්ලගන්න ඕන එකක් නෙවෙයි. කොච්චර දඩ වැඩිකළත් පොලීසියේ එකාට ටොක්ක දීලා ගොඩයන්න පුලුවන් අය තමා ඉන්නෙ. අන්තිමට ඕව යන්නෙ අප්පච්චිලගෙ කරපිටිං.

ඉරක් කපන්න මාසයක් තිස්සෙ ප්ලෑන් කරන්නෙ නෑ. ඒත් විසිපන්දාහක් හොයන්න අප්පච්චි මාසයක් මහන්සි වෙනව. මාසයක් බඩගින්නෙ ඉන්න වෙන්නෙ අපට. මට බඩගින්න ෂේප් කරගන්න පුලුවන්. ඒත් අවුරුදු එකහමාරෙ නංගිගෙ බඩගින්නත් නිවන්නෙපැයි. අම්ම වේගෙං ආපු බීඑම්ඩබ්ලිව් එකට යටවුණාට පස්සෙ ඒකිට මව්කිරිත් නෑනෙ. කොහෙද බීඑම්ඩබ්ලිව් එකේ ගියපු බීගත්ත අයියලාගෙ ලෝයර් කියල අාපු මනුස්සයෙක් අම්මට ලක්ෂ පහක් දෙන්නං ඩිස්චාට් වෙන්න කිව්ව හොස්පිටල් එකෙං. ඩිස්චාට් වුණැයිං පස්සෙ අයියල අතුරුදං. ඉතිං අම්ම දැං එකතැං. වන්දියකුත් නෑ. අම්මගෙ බේත් වලටත් ලොකු වියදමක් යනවලු.

අප්පච්චි ඊයෙ රෑ බස්සෙක දාලා බීගෙන ආවෙ. ඇවිත් බැන්න. අප්පච්චිල වමෙං ඉස්සර කොරන්නෙ, වේගෙං යන්නෙ එයාලගෙ වුවමනාවට නෙවෙයිලු. පාරෙ ලෝ එක මුදලාලිට අදාල නෑලු. නීති රැකල ටාගට් කවර් කරන්න බෑලු.

‘යකෝ මුං දඩ වැඩිකරල අපේ විනය හැදුව කියල මුදලාලිය ටාගට් එක අඩුකරනවද බොලං‘ ඊයෙ රෑ තාත්ත ඒම බැන්න.

******************************************

මට මතක් වුණා සංජීව සර් කිව්ව කතාවක්. සර් කිව්වට ඌ පොඩි එකෙක්. විද්‍යාපීඨෙ. පත්තර කියවන එකෙක්. ටීචලා බණින්නෙ සංජීව එක්ක කතාකරන්න එපා මිනිහ ජේවීපී කාරයෙක් කියලා. ඒත් ඒ සර් පන්තියේදී ජේවීපියටත් බණින වෙලාවල් තියෙනවා.

මට මිනිහ කියන ඒව මතක හිටින්නෙ නෑ. බස් ගැන නිසා මතක හිට්ටා. 

මිනිහ කිව්වෙ පාරෙ ට්‍රැෆික් අඩුකරන්න නං පොදු ප්‍රවාහනේ ශක්තිමක් කරන්න ඕනලු. පොදු ප්‍රවාහනේ කියන්නෙ බසුයි කෝච්චියිලු. පොදු ප්‍රවාහනේ ශක්තිමත් කරන්න නං කාර් බාර් පාරට දාන අයට එක එක වියදම් දාන්න ඕනලු. ඒ කියන්නෙ ඒ වාහන වලට විතරක් වැඩියෙන් දඩ ගහන එක, කොළඹට ඇතුල්වෙද්දී ටිකට් එකක් කඩන එක වගේ.

හැබැයි ඕක කරද්දී වාහන ගෙදර දාලා එන අයට බස්, කෝච්චි සර්විස් එක හොඳටම දෙන්න ඕනලු. 

පාරේ බස්වලට වෙනම ට්‍රැක් එකක් දෙන්න ඕනලු. විනාඩියකට සැරයක් හරියට බස් යවන්න ඕනලු. බස් රේස් නැතිවෙන්න ඕනලු. හොඳ ජාතියෙ බස් විතරක් පාරට දම්මල ඒවට ටිකක් වැඩි ටිකට් එකක් කැඩුවත් කමක් නෑලු. 

බස් ඩ්‍රැයිවර්ලට පුහුණුවක් දෙන්න ඕනලු. එක එක අය හිතුමතේට බස් පාරට දානව වෙනුවට කොමිසමකින් බස් නියාමනය කරන්න ඕනලු. බස්වලට ඩ්‍රැයිවර්ල දාන එක පිළිවෙලට කරන්න ඕනලු.

මං හවස සර්ව හම්බෙලා ඇහුව ඔහොම එකක් කළොත් අප්පච්චිට මොකක් වෙයිද කියල.

එයා කිව්ව එතකොට අප්පච්චිට වැදගත් විදියට ජොබ කරන්න පුළුවන්ලු. ලස්සන ඇඳුමක් අන්දලා. රේස් නැතිව. අස්සෙන් බස්සෙන් දාන්නැතුව. මැද ට්‍රැක් එකේ පිලිවෙලට බස්සෙක ගෙනියන්නලු තියෙන්නෙ.

සර් කියන විදියට වෙනවනං හොඳයි....

අපේ පන්තියෙ එවුනුයි පේස්බුක් එකේ එවුනුයි අප්පච්චිලට බණින්නෙ ආසාවට නීති කඩනව කියල හිතාගෙන.

ඩ්‍රැයිවර්ලනෙ දන්නෙ අස්සෙන් බස්සෙන් දාගෙන බස්සෙක මේන්ටේන් කරන එකේ අමාරුව. අනික අප්පච්චිගෙ වගකීම ගැන දන්නෙ මංනෙ.

බස්සෙකේ ඉන්න අප්පච්චිලට බයින මිනිස්සු මකබෑවුණත් මායි නංගියි අම්මයි ගැන අප්පච්චි හිතනවා. ඒ හිතල තමයි මුදලාලිව සතුටු කරන්න හැමදාම බස්සෙකේ ගේම ගහන්නෙ. හදිසියෙ ඇක්සිඩන්ට් වුණොත් අප්පච්චි අච්චු. අපි අනාතයි.

******************************************

අප්පච්චි කියනෙක ඇත්ත. මේ ලංකාවෙ ඉන්න හැමඑකාම කරන්නෙ නීති කඩන එක විතරයි. 

ඔෆිස් එකේ හාප්ෂීට් එක මාටිය ගහනවුං එනව අප්පච්චිල ස්ට්‍රයික් කරනෙක ගැන බයිල ටෝක් දෙන්න.

කෝටි ගණං මාටිය ගහනවුං අප්පච්චිලගෙ විනය හදන්න කියල දඩේ දානව.

අප්පච්චිලගෙ විනය නෙවෙයි රට්ට තියෙන විනේ.

ඔය කෑගහනවුං ඔක්කොටම වඩා අප්පච්චි ආසයි බස්සෙක පිළිවෙලට පාරෙ ගෙනියන්න. ඒත් මුදලාලිට ඕන අප්පච්චිගේ විනේ නෙවෙයි ටාගට්නෙ. සිරී අයියගෙ මුදලාලිට ඕන එයාගෙ ටාගට්. ඉතිං අප්පච්චියි සිරී අය්යියි රේස්.

එක්කො ඕව ගැන කතාකරල වැඩක් නෑ.

එක්කො නීති රකින්න ගිහිං ටාගට් කවර් නොකර තාත්තගෙ ජොබ නැතිවෙයි.

නැත්තං නීති ගැන නොහිත ටාගට් කවර් කරන්න ගිහිං විසිපන්දාහ ගෙවල අපට බඩගින්නෙ ඉන්න වෙයි.

- උඩුවා අයියගෙ බ්ලොග් එකේ අකුරු කලේ... ප්‍රයිවෙට් බස් ඩ්‍රැයිවර් කෙනෙක්ගේ පුතෙක්

(සත්‍ය කතාවක් ඇසුරිණි)

26 comments:

  1. ඒ මොක වෙතත් මුන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කලයුතුයි. බොරු බයිලා ගහන්න එපා පුතේ ටාගට් නැත්නම් වෙන ඩ්‍රයිවර් කෙනෙක් දැම්මත් නීතියට එලවද්දී ටාගට් නෑ තමයි. ප්‍රිවෙට් බස් අත්‍යවශ්‍ය සේවයක් කියලා ගැසට් කරලා ඊට පස්සේ එන්නැති එවුන්ගේ රූට් පර්මිට් කැන්සල් කලානම් ඔය ස්ට්‍රයික් ඉවරයි. වල්ගොමයලට ඕනේ විදිහට නෙවෙයි නීතියට ඕනේ විදිහටයි බස් දුවන්න ඕනේ.

    අපේ රටේ අවිනීතටම එවුන් තමයි බස්කාරයෝ ත්‍රීවීල් කාරයෝ. උන්ව හදන්නම ඕනේ. ත්‍රීවීල් කාරයන්ට එක දවසක්වත් ස්ට්‍රයික් කරන්න බෑ. අද උන් කලේ මිනිස්සු ඉන්න තැන්වලින් හෙමීන් යනඑක. එතකොට බස් නැතිව ඉන්න මිනිස්සු කතාකලාම මුන් බල්ලෝ වගේ නැට්ට පුකේ ගහගෙන එනවා. අර සිංහ පාට් නෑ. ත්‍රීවීල් කාරයෝ දවස් පහක් ස්ට්‍රයික් කලොත් වහකාලා මැරෙන්න වෙනවා. උන්ව වහාම නීතියට අනුගත කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. ටාගට් කොහොමහරි කවර් වෙයි......
      දැන් හැදෙයි පොලිසිය ඉන්න තැන් බලාගන්න අලුත් පණිවිඩ ක්‍රම. පොලිසිය නැති තැන්වලදී සුපුරුදු විදියට වෙයි.
      අනික රුපියල් විසිපන්දාහෙ දඩය ගෙවනවා වෙනුවට පන්දාහේ අල්ලස දෙන්න හුරුවෙයි.
      අනිවාර්යයෙන් මේ අය තමයි විනය විරෝධීම විදියට පාරේ යන්නේ..
      තර්කයක් නෑ.
      හැබැයි විනය හදන්න දඬුවමටත් වඩා සංස්කෘතිය හදන්නයි ඕන....
      හිතෙන වෙලාවට වයිල්ඩ් විදියට නීති දැම්ම පලියට සංස්කෘතියක් හැදෙන්නෙ නෑ....
      එහෙනං බරපතල වැරදිවලට දරුණු දඬුවම් දෙන්න ඕන

      Delete
  2. හැම නීතියම බිඳ සිතමින් තම දරුවා
    නිම නැති ගමනෙ යයි මගහරිමින් මරුවා
    කිම දොස් නගනු රියදුරුටත් හිත් ඇතුවා
    මෙම සටහනට උඹටත් ස්තූතියි උඩුවා.......

    ජයවේවා!!!

    ReplyDelete
  3. මේ වර්ජනයෙන් සිදු වුනේ බස් ගැමුනුවා චා වී සොරිසේනගේ ලෙවල් එකට වැටීම ය!

    ReplyDelete
  4. ඒකෙන් නිවාඩුවක් ලැබණු එකනම් පට්ටය..

    ReplyDelete
  5. ඔය දඩ ගහන එකෙන් හම්බකරගන්න දතකන රවිතුමා නීතිය, විනය ගැන කිය කිය විලිවහගන්න දගලනවා..... .මේවා විකාර නීති...... මේවා ඇති වීම වැළැක්වීම වැදගත්......

    ReplyDelete
  6. පාලනය විකෘති වුන පලියට නීතිය පලි නැහැ. නීතිය කියන්නේ එක්තරා ආකරයක පාලනයක් පවත්වා ගෙන යෑමේ මෙවලමක්. වම්බටු තෙලටත් හොඳයි, කිරටත් හොඳයි. වනචර කමට ඔබා ගන්නත් හොඳයි. අපි වම්බටු තියා තිබ්බටුවක අගේවත් නොදන්නා, හුළු අත්තෙන් පාර හොයන, ඒත් අළු වැටුනම, හුලු අත්තේ අම්මා මතක් කරන ජාතියේ පොරවල් ලොක්කා. "ඔය ඔයි කාගෙත් වත පොත මගේ ෆයිල් එකේ ඇත." නිහාල් නෙල්සන්ලා මරු බන්.

    ReplyDelete
  7. මේකයි උඩුව. සමහරක් ප්‍රශ්ණ වලට ඔළුවෙන් හිතන්ට ඕනි. ඔළුවෙන් හිතල පපුවෙන් උත්තර දීල හරියන්නෙ නෑ.

    පොඩි එකා හිතන විදිහෙත් වරදක් නෑ. ඒත් ගංජා ගහල දුර ගමන් එලවන ඩ්‍රයිවර් ල මම ඇහැටම දැකල තියෙනව.

    මේ ඩ්‍රයිවර් ල රෑට එළවන්නේ පාරෙ හරිම මැදින්. හරියට ඉස්සරහින් එන වාහන මුගෙන් බේරිලා යන්න ඕනි කියල හිතං.

    උං ගැන හිතල ඕන මල ජරා සින්දුවක් මහ හයියෙන් දාගෙන යනව. ඔය ඕවටෙක් වගේ දේවල් උබත් දැකල ඇතිනේ.

    කොන්දොස්තරලා මිනිස්සුන්ට කතාකරන විදිහත් දැකල ඇතිනෙ.

    මෙයාලට බස් හිමියන්ගෙ ටාගට් කවර කොරන්ට උවමනානම් මිනිස්සුන්ගේ බස් ගාස්තුවට නියම වටිනාකම තියෙන ටිකට් එක දීල බස් ටිකට් වලින් හොරා ගහන ගැහිල්ල නවත්තුවානම් ප්‍රශ්නෙ ඉවරයි.

    මෙතන තියෙන්නෙ බිමත්ව රිය පැදවීම සහ ඕවටේක් කිරිල්ල ගැන ප්‍රශ්නයක් බං. අනික නීතියට අනුව එලවනවානම් ප්‍රශ්නයක් නැහැනෙ.

    කොහොමත් වෙලාවට අදාළ ලිපියක්.

    ස්තුතියි.
    👊🏽

    ReplyDelete
    Replies
    1. මමත් දැකල තියෙනව...
      ඕනම වෘත්තියක් කරන අය අතරේ ඒ වෘත්තියට අදාල විනය රකින්නේ නැති අය!!!
      ඕනම වෘත්තියක්

      Delete
  8. රටේ තියෙන තත්ත්වය අනුව මේ දරුවා කියන දේ එක්ක මම එකඟයි...

    පාරේ විනය හදන්න අවශ්‍යනම් දැනට තියෙන දඩ සහ දඬුවම් හොඳටම ඇති...
    රජයට හෝ පොලිසියට එහෙම අවශ්‍යතාවයක් නැහැ...
    වමෙන් හෝ අස්සෙන් රිංගන රිංගන වතාවට දඩ ගහනවානම් කවුරුත් රිංගන්නේ නැහැ... බස් ඔක්කොම ඒ විදිහට ගියොත් කාටවත් කාගේවත් ටර්න් කපන්න වෙන්නේ නැති නිසා, හැමෝටම බොහෝ දුරට සමාන සෙනගක් ලැබෙන්න ඉඩ තියෙනවා...
    කෙනෙකුට විශේෂ පාඩුවක් වීමේ අවස්ථාව අඩුයි...
    මගීන් අඩුවෙන් ඉන්න වෙලාවට දුවන්න වෙන බස් වල ටිකට් මුදල වැඩි කිරීම වගේ දේවල් හරහා එම පාඩුව මග හරින්නත් පුළුවන්...

    හැබැයි අදාළ වේග සීමා තුළ බස් රථ ධාවනය වන විට තමන්ට වෙනදට වඩා පැය භාගයක් පැයක් කලින් අවධි වන්නට සිදු වීමත් ජනතාවට දරා ගන්න සිද්ධ වෙනවා, විශේෂයෙන් දුර ඉඳල වැඩට එන අයට...

    ඊට අමතරව තිරෝද රථ සහ අනෙකුත් ටැක්සි රථ වල වැරදි දෙස දැඩි විමසිල්ලෙන් බලා ඉඳල දඩ ගැහුවොත් ඒ අයත් පාරේ විනයක් ඇතුව යන්න ගනීවි...
    විශේෂ අවධානය රැකියාව වශයෙන් රියදුරු කමේ දීල ඉන්න උදවිය වෙත යොමු වීම ජනතාව පැත්තෙන් හොඳයි...

    මීට අමතරව පොදුවේ හැම වාහනයකම වැරදි වලට නියමාකාරව දඩ ගහනවානම් දැන් තියෙන දඩ මුදල් සීමාව තුළම රජයටත් වැඩි මුදලක් උපයාගෙන විනයගරුක රියදුරු පිරිසක් රටේ ඇති කර ගන්න බැරි කමක් නැහැ...

    ඒ එක්කම රටේ ඉන්න බහුතරයක් වන මී හරකුන් වන් වැඩිහිටියන්ගේ විනය හදනවට වඩා වැදගත් ඉස්කෝලේ දරුවන්ට විනයගරුක පුරවැසියෙක් වෙන අයුරු උගන්නවන එක...
    අනෙකාට ගරු කරන අයුරු, පාරේ නිවැරදිව පයින් යන හැටි, කහ ඉරක් පනින හැටි, වාහනයක් පැදවීමේදී වැදගත් කරුණු, පොදු ස්ථාන වල පෝලිමක ගොස් තමන්ගේ වැඩ කටයුතු කර ගන්නා අයුරු, පෝලිමක් පැනීම යනු අනෙකාගේ අයිතිවාසිකමක් උදුරා ගැනීමක් බව කියා දෙන්න ඕනේ, පොදු දේපොළ පරිස්සමින් පාවිච්චි කරන හැටි, නිවැරදිව වැසිකිලියක් පාවිච්චි කරන අයුරු, කන බොන හැටි, කෑම අපතේ යාම වැළකීම, මේ වගේ ඉගැන්විය යුතු සියලු දේ ඉගැන්නුවොත් ඉදිරි පරම්පරාව හෝ මේ මී හරක් ගතිගුණ වලින් තොර වේවි...

    ReplyDelete
    Replies
    1. පොදු ප්‍රවාහනය දිරිමත් කරන්න ඕන.. පෞද්ගලික ප්‍රවාහනය අවම කරන්න ඕන..
      පොදු ප්‍රවාහනයට විනය ගේන්න ඕන...
      ඒක කරන්න විසිපන්දාහෙ දඩ ඕන නැහැ

      Delete
  9. “ අන්තිමට අප්පච්චි දින්නා “
    “ පිස්සු ද ළමයෝ අන්තිමට දින්නේ බස් මුදලාලිලා “

    ReplyDelete
  10. අප්පච්චිට කියන්න අපිටත් ඉස්කෝලෙ යන්න ඉක්මනට වැඩට එන්න කියල

    ReplyDelete
    Replies
    1. එහෙම එකකුත් තියෙනව.... කවුරු මොනව කිව්වත් පොදු ප්‍රවාහනේ නැතිව බෑ

      Delete
  11. මහින්ද මහත්තය ආවට පස්සේ දඩ නෙවෙයි හෙන ගැහුවත් කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන අයත් ඉන්නවා

      Delete
  12. කතාවේ දෙපැත්තක් තියෙනවා. ඔය වගේ වේගෙන් යන වාහනේකට කවුරු හරි යට වුනොත්, මිනිහෙක්ගේ ජීවිතේ වටිනාකම රුපියල් 25,000 ද?

    වේගෙන් යන බස් අල්ලලා, ඒ මුදලාලිලටත් 25,000 දඩ ගැහුවා නම් ඉවරයි.

    ReplyDelete
  13. අඩුම තරමින් දියුණු රටවල ප්‍රවාහන සේවා ගැන පොඩි අධ්‍යනයක් කරලා අපේ රටේ ප්‍රවාහනය ගැන ජාතික ප්‍රතිපත්තියක් හදන්න මොලේ පෑදේවා.

    ReplyDelete
    Replies
    1. කුරහන්, අධ්‍යයනය කරන්න පිට රට ඒවී.. එච්චර තමා.. ප්‍රශ්නේ තියෙන්නේ ඒ එන්න පුලුවන් සුලු කොටසේ නෙමෙ.. මහා ජනයාගේ මොලේ පෑදේවා. ..

      Delete
  14. කවදා වෙනකන් මේ වගේ පුතාලා මෙහෙම ලියයි ද උඬුවෝ...

    ReplyDelete